1. 4. 10.
චූළඅස්සපුර සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ අඟුදනව්හි අඟුරට වැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, මහදෙනේ ‘ශ්රමණයහ, ශ්රමණයහ’යි තොප හඳුනාගනී. තෙපිදු ‘තෙපි කවරව’යි පුළුවුස්නා ලදුව ‘ශ්රමණයම්හ’යි පිළින කරන්නාව. මහණෙනි, මෙබඳු ශ්රමණසංඥා ලත්, මෙබඳු ශ්රමණ ප්රතිඥා කරන, ඒ තොප විසින් “යම් මහණුනට නිසි අනුලොම් පිළිවෙත් ඇද්ද, එ පිළිවෙත් පිළිපදුම්හ. මෙසේ පිළිපදුත් ම, අපගේ මේ ශ්රමණසංඥාත් සත්ය වෙයි, ප්රතිඥාත් යථාර්ත්ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳකරමෝ නම්, අප කෙරෙහි කරන උන්ගේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානෘශංස වෙතී. අපගේ ද මේ පැවිද්ද අවන්ධ්ය වෙයි, සඵල වෙයි, වෘද්ධි සහිත වේ”ය යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේය.
3. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත නො පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලෝභබහුල යම්කිසි මහණකුට ඒ දළලෝබ නොපුහුන් වේ ද, ව්යාපන්න සිතැති මහණකුට ඒ ව්යාපාද නොපුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්රෝධ නොපුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බද්ධවෛර නොපුහුන් වේ ද, මකුගුණ ඇති මහණකුට ඒ මකුසැහැවි නොපුහුන් වේ ද, (යුගග්රාහ ලක්ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස ප්රහීණ නො වේ ද, ඊර්ෂ්යා ඇති මහණකුට ඒ ඊර්ෂ්යා ප්රහීණ නො වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරු බව ප්රහීණ නො වේ ද, ශඨ වූ මහණකුට ඒ සට බව ප්රහීණ නො වේ ද, මායා ඇති මහණකුට ඒ මායා ප්රහීණ නො වේ ද, පාපඉච්ඡා ඇති මහණකුට ඒ පාපේච්ඡා ප්රහීණ නො වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු ප්රහීණ නො වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවා දුකට කරුණු වන, මේ මහණමල, මහණදොස්, මහණකසළ ප්රහීණ නො කිරීමෙන් සමණසාමිචිපටිපදා නො පිළිපන්හ’යි මම කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවාත් ඇති, දියපී, නහස්නා පහණ (උරගල) ගා තියුණුකළ මටජ නම් ආයුධ ජාතයෙක් වේද, එද සඟළින් පොරෝනා ලදුයේ, (කොපුවෙහි බහන ලදුයේ) මැනැවින් වෙළෙනා ලදුයේ වේ ද, මහණෙනි, මම මේ මහණහුගේ පැවිද්ද එබඳු කොට කියමි.
4. මහණෙනි, මම සඞ්ඝාටිධාරණය සිල්කොට ඇතියහුගේ සඞ්ඝාටිධාරණමාත්රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අචේලකයාගේ බහාලුපිළී ඇතිමතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම රජෝජල්ල ධාරණය සිල් කොට ඇතියහුගේ රජස්දැලි ධැරීම් මාත්රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම දවස තුන්යලක් උදකාවගාහය (දියෙහි බැසීම) සිල් කොට ඇතියහුගේ උදකාවගාහමාත්රයෙන් මඟඵල නො වදාරමි. මහණෙනි, මම වෘක්ෂමූලවාසය සිල් කොට ඇතියහුගේ වෘක්ෂමූලවාසමාත්රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අභ්යවකාශවාසය සිල්කොට ඇතියහුගේ අභ්යවකාශවාසිකමාත්රයෙන් මඟඵල නොකියමි. මහණෙනි, මම උඩුකුරුව සිටිනු සිල් කොට ඇතියහුගේ උඩුකුරුව සිටීම්මතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම (මාසයෙකින් වේවයි, අඩමසෙකින් වේවයි වාරවශයෙන් බුදින) පර්ය්යායභක්තභෝජනය සිල් කොට ඇතියහුගේ පර්ය්යායභක්ත භෝජනශීලමාත්රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම වෙදමන්ත්රහදාරන්නහුගේ මතුරුහදාරනු මතුයෙන් මඟ ඵල නොවදාරමි. මහණෙනි, මම ජටිලකයාගේ ජටාධාරණමාත්රයෙන් මඟඵල නොවදාරමි.
5. මහණෙනි, ඉදින් සඞ්ඝාටි ධරණ අභිධ්යාබහුලයාගේ අභිධ්යාව සඞ්ඝාටිධාරණමාත්රයෙන් පහ ව යේ නම්, ව්යාපන්න චිත්ත පුද්ගලයාගේ ව්යාපාදය පහ ව යේ නම්, කෝධශීලීහුගේ ක්රෝධය පහ ව යේ නම්, උපනාහී පුද්ගලයාගේ උපනාහය පහ ව යේ නම්, ම්රක්ෂීපුද්ගලයාගේ මුක්ෂය පහ ව යේ නම්, පළාසිපුද්ගලයාගේ පළාසය පහ ව යේ නම්, ඉස්සුකී පුද්ගලයාගේ ඊර්ෂ්යාව පහ ව යේ නම්, මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, සඨපුද්ගලාගේ සඨබව පහ ව යේ නම්, මායා ඇතියහුගේ මායාව පහ ව යේ නම්, පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, මිථ්යාදෘෂ්ටිකයාගේ මිථ්යාදෘෂ්ටි පහ ව යේ නම්, මිත්රාමාත්යයෝ ද නෑසහලේනෑයෝ ද ජාතමාත්ර වූ ම (උපන්දා උපන්වන ම සිටි) තුලුන් සඞ්ඝාටික කරන්නාහ’ සාඞ්ඝාටිකත්වය ම සමාදන්කරවන්නාහ. කෙසේය යත්: “භද්රමුඛය, තො එ. සාඞ්ඝාටික ව. සඞ්ඝාටික වූ අභිධ්යා බහුල තාගේ සඞ්ඝාටිධාරණ මාත්රයෙන් අභිධ්යා පහව යෙයි. ව්යාපන්නචිත්ත වූ තාගේ ව්යාපාද පහව යෙයි. ක්රෝධඇති තාගේ ක්රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්රක්ෂි වූ තාගේ මුක්ෂය පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්ෂ්යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්ය්ය පහ ව යෙයි. සඨ වූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහ ව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි’ කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව සඞ්ඝාටික වූත් කිසිවකු අභිධ්යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් සඞ්ඝාටිකයාගේ සඞ්ඝාටිධාරණ මාත්රයෙන් මඟඵල නොවදාරමි.