1. 4. 8.
මහාතණ්හාසඞ්ඛය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු කළ ජේතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කේවට්ටපුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දර්‍ශනයෙක් උපන: “එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.
2. “කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කීහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.
3. ඉක්බිති ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුවුසිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විචාරත්: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන (අභිභවා කීම) නො කරව. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නන් නියරින් විඥාන ප්‍රත්‍යයෝත්පන්න යයි වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැතියි කීහු. මෙසෙයිනුදු කෙවුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුවුස්නා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමර්‍ශ කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඥාන දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්නාහ. එකත්පස් ව හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
4. වහන්ස, කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන යනු ඇසුම්හ. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණහු කරා ගියම්හ. ගොස් කෙවුළුපුතු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යනු සැබෑදැ” යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙවුළුපුතු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුවුසුම්හ, ලබ්ධි ගැන්වූම්හ, කරණු විචාළම්හ: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත, සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෝත්පන්න’ යයි නන් අයුරින් වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානයාගේ සම්භවයෙක් නැති යි වදාරන ලදි.” වහන්ස කෙවුළුපුත් සාතිමහණ අප විසින් මෙසෙයිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමර්‍ශ කොට ගෙන පිවිසගෙන බෙණෙයි: “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි කියයි. වහන්ස යම් හෙයකින් අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ යි.
5. එසඳ බුදුහු එක්තරා මහණකු ඇමතූසේක: මහණ තෝ එව, මා බසින් කෙවුළුපුතු සාතිමහණ අමත: ‘ඇවත, සාතියෙනි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙවුළුපුතු සාතිමහණහු කරා එළඹියේය. එළඹ කෙවුළුපුතු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත සාතියෙනි, ශාස්තෲන්වහන්සේ තොප කැඳවනසේකැ’යි. ‘ඇවැත, එසේයැ’යි කෙවුළුපුතු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කෙවුළුපුතු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: “සැබැව, සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඥානයම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ’යි යම් පරිදි දෙසූසේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි.