1. 4. 7.
චූළතණ්හාසඞ්ඛය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම්මහවෙහෙර මුවරමාපහයෙහි වැඩ වෙසෙති. එක්බිති සක්දෙව් රජ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේ. එකත්පස් ව සිටි සක්දෙව්රජ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ:
2. “වහන්ස, කිපමණෙකින් මහණ තෙමේ සැකෙවින් තණ්හාසඞ්ඛය විමුත්ත (තෘෂ්ණා නිරෝධ නම් වූ නිවන් අරමුණ කොට රහත්) වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්යයෝගක්ෂේම ඇතියේ, නිත්ය බ්රම්සර ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ දැ”යි (රහත්හුගේ පූර්වභාගප්රතිපද් සැකෙවින් වදාළ මැනැවැයි සැළකෙළේය).
3. දේවේන්ද්රය, මෙසස්නෙහි මහණහු විසින් (ස්කන්ධායතනධාතුසඞ්ඛ්යාත) හැම දහම්හු අභිනිවේශය (තෘෂ්ණාදීන් බැසගැණීම) පිණිස නො යෙදෙතියි අසන ලද වෙයි. දේවේන්ද්රය, මහණහු විසින් ‘සර්වධර්මයෝ අභිනිවේශය පිණිස යුතු නො වෙති’යි එකරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්ධාදිසර්වධර්ම (ඥාතපරිඥායෙන් අනිත්යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්වධර්ම වෙසෙසින් දැන සර්වධර්ම (තිරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේ ය. සර්වධර්ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වේදනාවන්හි අනිත්ය විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණින් යුක්ත ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් කෙලෙස් හැරලන නිවන් වදනා මගනැණින් යුක්ත ව වෙසෙයි. හේ ඒ වේදනාවන්හි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ, පඤ්චස්කන්ධලෝකයෙහි කිසිදු සංස්කාරයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේය. නො ගන්මින් තෘෂිත (තෘෂ්ණාන්විත) නො වෙයි. (තණ්හා පරිතස්සන විසින්) පිපාසික නො වන්නේ සිය සතන්හි ම (කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි. ‘ජාතිය ක්ෂීණ විය. බඹසරවස් වසන ලදී. (සොළොස්) කරණී කරන ලදී. නැවත මෙබවට නො එමී’ දනී. දේවේන්ද්රය, මෙතෙකින් මහණ සංක්ෂිප්ත විසින් නිවන් අරමුණ කොට රහත් වූයේ. ඒකාන්තනිෂ්ඨා ඇතියේ, තින්යයෝගක්ෂේම ඇතියේ, නිත්යබ්රම්සර ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යි. (මේ රහත්හුගේ පූර්වභාග ප්රතිපද් සැකෙවින් වදාළ නියා යි.)
එක්බිති සක්දෙව්රජ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනය කොට අනුමෝ ව භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ.
4. එකල ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්යවතුන් වහන්සේගේ නුදුරැ හුන්හ. එසඳ මහමුගලන් මහතෙරහට තෙල සිත් වී: “කිම ඒ යක් භාග්යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද, නොහොත් නොදැන අනුමෝදන් වීදැයි. ‘භාග්යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද නොහොත් නොදැන අනුමෝදන් වීදැ’යි මම ඒ යක් පිළිවිස දනිම් නම් මැනැවැ”යි. එක්බිති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේත්, දික් කළ අතක් හෝ වක් කරන්නේත් යම් සේ ද, එසේ පුවරම් මහවෙහෙරැ මුවරමාපායෙහි අතුරුදන් වූවෝ තවුතිසා වැසි දෙවියන් කෙරෙහි පෙනුණාහු.
5. එසඳ සක්දෙව්රජ ඒකපුණ්ඩරීක නම් උයන්හි (තමා පිරිවරා වයන) පන්සියක් දෙව්පසඟතුරු රැවින් සමර්පිත ව සමන්විතව ඉඳුරන් පිණවා වාස කෙරෙයි. සක්දෙව්රජ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු වඩනවුන් දුරින් ම දිට. දැක (වයමින් සිටි) පන්සියක් දිවපසඟතුරු බැහැර කරවා මහමුගලන් මහතෙරුන් කරා එළඹියේ ය. එළඹ මුගලන් මහතෙර හට තෙල සැළ කෙළේ: “නිදුක, මුගලන් තෙරණුවනි, වඩනේ මැනැව. නිදුක මුගලන් තෙරණුවනි, තොපට ස්වාගත කරමි. නිදුක, මුගලන් තෙරණුවනි, මෙහි අපකරා වඩනට බොහෝ කලෙකින් මේ වාරය කළදැ යයි (බොහෝ කලෙකින් වැඩිදෑ ය යි ප්රියකථා බැණ) නිදුක, මුගලන් තෙරණුවනි, මේ අසුන් පැනවිණ, වැඩහිඳුනේ යැ”යි කී. මුගලන් මහතෙරහු පැන්වූ අස්නෙහි හුන්හ. සක්දෙව්රජ ද මිටි අස්නක් ගෙන එකත්පස් ව හින. එකත්පස් ව හුන් සක්දෙවිරජහට ආයුෂ්මත් මුගලන් මහතෙරහු තෙල බස් කීහ: “දෙව්රජිනි, අප බුදුහු තොපට සැකෙවින් තණ්හා සඞ්ඛය විමුත්තිය (නිවන අරමුණ කොට මිදීම) කිසෙයින් නම් වදාළ සේක් ද? අයදුම්හ, අපිදු තෙල සූත්රදේශනා කථා අසනුවට භාගී වම්හයි.
6. “නිදුක, මුගලන, අපි බොහෝ කටයුතු ඇතියම්හ. අපගේ ම කාර්ය්ය මඳ වෙයි. වැලිදු තව්තිසාවැසි දෙවියන්ගේ කාර්ය්ය බෙහෙව. තව ද, නිදුක, මුගලන, අප මනා කොට ඇසූ, මනා කොට උගත්, මොනොවට මෙනෙහි කළ, මොනොවට ධැරූ යම් දැයෙකුදු වීනම්, එය වහා ම අතුරුදන් වෙයි. නිදුක, මුගලන, වූවිරිදැයක් කියමි: දේවාසුරසඞ්ග්රාමයෙක් රාශිභූත වී. මුගලන් තෙරණුවනි, ඒ සඞ්ග්රාමයෙහි දී දේවයෝ දුනුහු. අසුරයෝ පැරැදුනුහු. නිදුක, මුගලන් තෙරණුවනි, මම ඒ සඞ්ග්රාමය දිනා දුනු සඞ්ග්රාම ඇති ව එයින් නැවති වෛජයන්ත නම් පහය මැවීමි. නිදුක, මුගලන් තෙරණුවනි, විජයන් පහය සියක් නිර්යූහ (මුදුන්තල) ඇත. එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාරය. එකෙකි කූටාගාරයෙහි සත් සත් අප්සරාවෝ ය. එකෙකි අප්සරාවට සත් සත් (උවටන් කරන) පරිචාරිකා දෙව්දූහ. මාරිෂ, මෞද්ගල්යායනයෙනි, තෙපි කැමැතියා ව විජයත්පහය රමණී සේ දක්නට යැ යි (දෙව්රජ කී.) මුගලන් මහතෙරහු නොබැණ ඉවසූහ.