1. 4. 5.
චූළසච්චක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලා මහනුවර නිසා මහවනයෙහි කූටාගාරශාලා නම් ගඳකිළියෙහි වැඩ වසන සේක. එ කල්හි කථාමාර්ග කියන පණ්ඩිතවාද ඇති, ‘සාධු’ ය යි බොහෝ දෙනා විසින් සම්මත සච්චක නම් නුවටපුත් විශාලා මහනුවර වෙසේ. හෙ විශාලා මහනුවර පිරිස්හි මෙසේ බෙණේ: මා විසින් කථාමාර්ගයෙන් දොස් ඇරැවූ යම් කිසිවෙක් කම්පිත නො වන්නේ ද, ප්රකම්පිත නො වන්නේ ද, වෙවුළා නො යන්නේ ද, යමකුගේ කක්ෂයෙන් ස්වේද නො සිලියේ ද, එබඳු වූ, ශිෂ්යසඞ්ඝ ඇති, ශිෂ්යගණ ඇති, ගණාචාර්ය, ශ්රමණයකු හෝ බ්රාහ්මණයකු හෝ - ‘රහත්මි’යි ‘බුදුමි’යි පිළිණ කරනුවකු පවා නො දතිමි. -
ඉදින් මම අචේතනික වූ ටඹට වාදයෙන් වාදාරෝපණය කරන්නෙම් නම්, මා විසින් වාදාරෝපණ කරණ ලද ඒ ටඹ ද කම්පිත වන්නේ ය. ප්රකර්ෂයෙන් කම්පිත වන්නේ ය. වෙවුළා යන්නේ ය. මිනිසකුට වාදාරෝපණ කෙළෙමි නම් කවර කථා ය’.
2. ඉක්බිති ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ විශාලානුවර පිඬු පිණිස පිවිසියහ. සච්චක නිර්ග්රන්ථ පුත්රද විශාලා නුවර ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ (රජගෙන් රජගෙට පයින් වැදෑ) ඇවිදුනේ අස්සජි තෙරණුවන් දුරදී ම එනුවන් දුටුවේ ය. දැක ආයුෂ්මත් අස්සජි තෙරණුවන් හා සතුටු වී තුස්නට. නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සච්චක නුවට පුත් ආයුෂ්මත් අස්සජි තෙරුන්හට තෙල කී ය:
“කියග අස්සජිය, මහණ ගොයුම් සව්වන් කෙසේ හික්මවයි ද, මහණ ගොයුම්හුගේ සව්වන් කෙරෙහි කෙබඳු අනුශාසනා බහුලව පවත්නී ද?”
ගිනිවෙස්න, මෙසේ භාග්යවතුන් වහන්සේ සව්වන් හික්මවන සේක. ශ්රාවකයන් කෙරෙහි භාග්යවතුන් වහන්සේ මෙබඳු අනුශාසනා බහුලව පවත්නී ය:
“මහණෙනි, රූප අනිත්ය ය, වේදනා අනිත්ය ය, සංඥා අනිත්ය ය, සංස්කාරයෝ අනිත්යහ, විඥාන අනිත්ය ය. මහණෙනි, රූප අනාත්ම ය, වේදනා අනාත්ම ය, සංඥා අනාත්ම ය, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්මය. සියලු සංස්කාරයෝ අනිත්යයහ. සියලු ධර්මයෝ අනාත්මයහ” කියා යි.
ගිනිවෙස්න, මේ අයුරිනි භාග්යවතුන් වහන්සේ ශ්රාවකයන් හික්මවන සේක. භාග්යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනා සව්වන් කෙරෙහි බහුලව පවත්නීය.
“භවත් අස්සජිය, අපි ශ්රමණ ගෞතමයන් මෙවැනි වාද ඇතියවුන් ඇසුමෝ ද, නො ඇසුව යුතු දැයක් ම ඇසුම්හ. අපි යම් කිසි දවසෙක ඒ භවත් ගෞතමයන් හා හමුවට යන්නමෝ නම් මනා මැ නු. කිසියම් කථා බිණීමෙක් උපන් නම් මනා මැනු. ඒ පවිටු මිථ්යාදෘෂ්ටියෙන් ගළවා පියන්නමෝ නම් මනා මැ නු” යි සච්චක කි.
3. ඒ කල පන්සියක් පමණ ලිච්ඡවීහු කිසි කාර්ය්යයක් සඳහා සන්ථාගාරයෙහි රැස්වූහු. එකල්හි සච්චක නිගණ්ඨපුත් ඒ ලිච්ඡවීන් වෙත එළඹියේ ය. එළඹ ඒ ලිච්ඡවීන්ට තෙල කී:
“භවත් ලිච්ඡවීනි, එත්වා! භවත් ලිච්ඡවීනි එත්වා! අද මහණ ගොයුම් හා මාගේ කථාසල්ලාප වෙයි. යම් සේ ඔහුගේ විඛ්යාත - ප්රසිද්ධ (පස්වග ශ්රාවකයන් කෙරෙහි) එක්තරා ශ්රාවකයකු වූ අස්සජි නම් මහණහු විසින් මට යම්සේ (වචනයෙන්) පිහිටන ලද ද, ඉදින් මහණ ගොයුම් මට එසේ පිහිටා සිටින්නේ නම්, යම් සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලෝමැ ගෙණ (ඔබට මොබට ලා) ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේ ද, එසෙයින් ම මම් මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කරමි. -