1. 4. 4.
චූළගෝපාලක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ වැදෑරට ගඞ්ගා හෝතෙර උක්කවෙලා නම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, පෙර වූවෙකි: මගධරට වැසි දුෂ්ප්රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂා ඍතුවෙහි පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදෙහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඞ්ගානදිය මැද සළාවැටුමෙක මැඬිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින යත්: මහණෙනි, නුනුවණ පියවි ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.)
3. මහණෙනි, එ පරිදි ම යම් ම ශ්රමණයෝ වෙත් වයි බ්රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකයෙහි (ස්කන්ධ - ධාතු - ආයතනයන්හි) අදක්ෂ වෙද්ද, පරලෝකයෙහි (ස්කන්ධ - ධාතු - ආයතනයන්හි) අදක්ෂ වෙද්ද, මාරධෙය්යසඞ්ඛ්යාත (මරුනිවස වූ) ත්රෛභූමික ධර්මයෙහි අදක්ෂ වෙද්ද, අමාරධෙය්යසඞ්ඛ්යාත නවලෝකොත්තරධර්මයෙහි අදක්ෂ වෙද්ද, මච්චුධෙය්ය සඞ්ඛ්යාත ත්රෛභූමික ධර්මයෙහි අදක්ෂ වෙද්ද, අමච්චුධෙය්ය සඞ්ඛ්යාත නවලෝකොත්තර ධර්මයෙහි අදක්ෂ වෙද්ද, යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැදැහිය යුතු කොට හඟින්නාහු ද එය ඔවුන්ට අහෝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.
4. මහණෙනි, වූවිරූ දැයෙකි: මගධරටවැසි සප්රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂාඍතුයෙහි පැසුළු මස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදෙහයන් සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තරණය කරවීය. හේ ගෝපිතෘ ගෝපරිනායක යම් වෘෂභ කෙනෙක් වූහු නම්, පළමු උන් එතෙර කරවී. ඔහු ගඟ සරස ස්රෝතස් සිඳ ගෙණ සුවසේ පර තෙරට ගියාහු ය. ඉක්බිති අදාන්ත ගවයනුදු දම්ය ගවයනුදු එතෙර කරවීය. ඔහු ද ගඟ සරස සැඬ සළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති නහඹු වස්සන් හා වැස්සන් එතෙර කරවීය. ඔවුහු ද ගඟ සරස සැඬසළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති කෘශබල ඇති සෙසු (දුබල) වස්සන් එතෙර කරවීය. ඔහුදු ගඟ සරස ස්රෝතස් බිඳ සුවසේ පරතෙර වන්හ.–
මහණෙනි, පෙර වූවෙකි: එ දවස උපන් මවගේ ‘හුං හුං’ ගොරැවින් ගෙණයනු ලබන ළදරුවස්සෙක් වී ද, ඒ වසු ද ගඟ සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, එපරිද්දෙන් මගධරටවැසි සප්රාඥ ස්වභාව ඇති ඒ ගොපලු වර්ෂාමාසය පිළිබඳ පැසුළුමස්හි ශරත්කාලයෙහි ගඞ්ගා නදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහ රට සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තැරැවීය.
5. මහණෙනි, එ පරිද්දෙන් ම යම් ම ශ්රමණයෝ වෙත් වයි බ්රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකය පිළිබඳ දක්ෂ වෙත් ද, පරලොව පිළිබඳ දක්ෂ වෙත් ද, මාරධෙය්යය පිළිබඳ දක්ෂ වෙත් ද, අමාරධෙය්යය පිළිබඳ දක්ෂ වෙත් ද, මච්චුධෙය්යය පිළිබඳ දක්ෂ වෙත් ද, අමච්චුධෙය්යය පිළිබඳ දක්ෂ වෙත් ද, යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිද්ද, එය ඔවුනට බොහෝකල් හිත පිණිස සුව පිණිස වන්නේ ය.
6. මහණෙනි, යම් සේ යම් ඒ ගෝපිතෘ වූ ගොපරිණායක වූ වෘෂභයෝ ගඞ්ගානදිය සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම ක්ෂීණාස්රව වූ වැස නිම වූ බඹසරවස් ඇති, සතර මඟින් කළ (සිවුසස් පිළිබඳ) සොළොස් කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත් ඵල ඇති, ගුණු භවසංයෝජන ඇති, ඥානයෙන් මැනැවින් දැන පඤ්චවිමුක්තීන් මතු යම් ඒ රහත් භික්ෂූහු වෙත් ද, ඔහු මාරයාගේ තණ්හා නැමැති සැඬවතුරු සරස සිඳ සුවසේ සංසාරපාරයට (නිවනට) ගියාහුය.
7. මහණෙනි, යම් සේ ඒ බලවත් දාන්තගවයෝ දැමියයුතු ගවයෝ ගඞ්ගානදිය සරස සැඬවතුරු සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් ඕරම්භාගිය සඤ්ඤෝජන පස නැති කිරීමෙන් බඹලොව උපපාදක වශයෙන් උපන්නාහු එහි පිරිනිවන්නාහු ඒ බ්රහ්මලෝකයෙන් පෙරළා නො එන ස්වභාව ඇත්තාහු වෙත් ද, ඔහු ද මාරයාගේ සැඬවතුරු සරස සිඳ සුවසේ සසර පරතෙරට හෙවත් නිවනට යන්නාහුය.
8. මහණෙනි, යම් සේ ඒ නහඹු වස්සෝ ද වැස්සෝ ද ගඞ්ගා නදියෙහි සරස සැඬවතුරු සිඳ ගෙන සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් ත්රිවිධ සංයෝජනයන්ගේ පරික්ෂයයෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමි වූවාහු වරක් ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නාහු ද, ඔහු ද මාරයාගේ ස්රෝතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.
9. මහණෙනි, යම් සේ දුබල වස්සෝ ගඞ්ගානදියෙහි සැඩවතුර සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් තුන් සංයෝජන ක්ෂය කිරීමෙන් සෝවාන් වූවාහු අවිනිපාතස්වභාව ඇත්තාහු, ගතිනියත වූවාහ, සම්බෝධිපරායණ වූවාහු වෙත් ද, ඔහු ද මාරයාගේ ස්රෝතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.