1. 4. 3.
මහාගෝපාලක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
2. මහණෙනි, අඞ‍්ග (අයුණු කොටස්) එකොළොසෙකින් සමන්‍වාගත ගොපලු ගෙරිමුළ රක්නට වෘද්ධි කරන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු (ගෙරිරැළ ගණනින් හෝ සුදු රතු පැහැයෙන්) ගෝරූප නො දන්නේ වේ ද, (ගෙරි සිරුරෙහි දුනු-සිරි-තිසුල් ආදි) ලකුණෙහි දක්‍ෂ නො වේ ද, (වෙනෙහි කණුකටුයෙන් සමබුන් තැන නිලමැස්සන් ලූ) මැසිබිජු නො හරනේ වේ ද, (ගෙරි ඇඟ හටගත්) වණ (බෙහෙත් ලා) නො වසන්නේ වේ ද, (මැසිමදුරු වළහනු සඳහා ගොවදෙහි) දුම් නො කරන්නේ වේ ද, (ගෙරින් බැසිය යුතු) තොටුපළ නො දනී ද, (ගෙරින්) පානය කළ නො කළ බව නො දනී ද, ගමන්මග නො දනී ද, ගෙරින් හැසිරවිය යුතු තැන්හි (තණබිම්හි) අදක්‍ෂ වේ ද, (වසු පිණිස) ඉතිරි නො කොට කිරි දොවනසුලු වේ ද, ගෝපිතෘ වූ ගොපරිණායක වූ යම් වැහැප්හු ඇද්ද, උනට විශේෂ සැලකිලි නො දක්වන්නේ වේ ද, මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු ගෙරිමුළ පාලනය කරන්නට වැඩි කරන්නට නොනිසි වෙයි.
3. මහණෙනි, මෙ පරිද්දෙන් ම එකොළොස් අඞ්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ නො වේ ද, ලක්‍ෂණකුශල නො වේ ද, ආසාටිකාපහරණ නො කරන්නේ වේ ද, වණ නො වසන්නේ වේ ද, දුම් නො කරන්නේ වේ ද, තොටුපළ නො දනී ද, පීතය නො දනී ද, වීථිය නො දනී ද, ගෝචරයෙහි අදක්‍ෂ වේ ද, අනවශේෂදෝහන කරන්නේ වේ ද, රාත්‍රඥ වූ බොහෝ කල් ඉක්මවූ සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද යන කරුණු එකොළොසිනි.
(1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “යම් කිසි රූපයෙක් වේ නම්, එ හැම රූප (මෙතෙක්) සතරමහාභූතයෝ ය. (මෙතෙක්) සතරමහාභූතයන්ගේ උපාදාය රූපය”යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ රැපඥ නොවේ.
(2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණකුශල නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “අඥානයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත, පණ්ඩිතයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇතැ” යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණයෙහි අදක්‍ෂ වෙයි.
(3) මහණෙනි, මහණ කෙසේ නම් ආසාටිකාපහරණ නො කරන්නේ (විතර්‍ක නමැති ඉහඬ නොහරණෙ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්‍ක සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කරයි. අභාවයට (විනාශයට) නො පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍ක ... උපන් විහිංසාවිතර්‍ක ... උපනුපන් ලාමක වූ අකුශලධර්‍ම සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කෙරේ. අභාවයට නො පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ආසාටිකාපහරණ (මැසිබිජු බඳු කාමාදි විතර්‍ක නෙරීම) නො කරන්නේ වේ.
(4) මහණෙනි, කෙසේ නම් මහණ වණ නො වසන්නේ (ඉන්‍ද්‍රිය සංවර නො කරන්නේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති (ස්ත්‍රීපුරුෂආකාරාදිය) සිතට ගන්නේ වේ. (හස්තපාදාදි) අනුව්‍යඤ්ජනයන් සිතට ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවර නො කොට වාස කරන්නා වූ මේ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පාපඅකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය පිළිබඳ සංවරය පිණිස නො පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය නො රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පහසා ... සිතින් ධර්‍මයක් දැන නිමිති ගන්නේ වේ. අනුව්‍යඤ්ජන ගන්නේ වේ. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාස කරන්නා වූ ඒ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පාපකඅකුශලධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. මනින්‍ද්‍රිය නො රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මහණෙනි, මහණ මෙසේ වණ නො වසන්නේ වෙයි.
(5) මහණෙනි, කෙසේ නම් මහණ දම් නො කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් අනුන්ට නො දෙසන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් නො කරන්නේ වෙයි.
(6) මහණෙනි, කෙසේ නම් මහණ තොටුපළ (ගුරූපාසනය) නො දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බහුශ්‍රුත වූ දත් ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූන් වෙත කලින් කල එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කවරේ දැ’යි නො අසයි. ප්‍රශ්න නො කෙරේ ඔහුට ඒ ආයුෂ්මත්හු විවෘත නො වූවක් විවෘත නො කෙරෙත්. පැහැදිලි නො වූවක් පැහැදිලි නො කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට නො කෙරෙත්. නන්වැදෑරුම් නොයෙක් සැක සහිත ධර්‍මයන්හි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ නො දන්නේ වේ.
(7) මහණෙනි, කෙසේ නම් මහණ පානය (ධර්‍මප්‍රීතිය) නො දන්නේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බුදුන් වදාළ ධර්‍මය දෙසනු ලබන කල්හි අර්‍ත්‍ථය දැන ප්‍රීතිය නො ලබයි. ධර්‍මය දැන ප්‍රීතිය නො ලබයි. ධර්‍මය ඇසුරු කළ ප්‍රමෝදය නො ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය නො දන්නේ වේ.