1. 4. 2.
මහාගෝසිඞ්ග සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ගොසිඞ්ගසාලවන ළැව්හි ආයුෂ්මත් ශාරිපුත්ර, ආයුෂ්මත් මහාමෞද්ගල්යායන, ආයුෂ්මත් මහාකාශ්යප, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් රේවත, ආයුෂ්මත් ආන්න්ද යන ඉපහළ ස්ථවිර ශ්රාවකයන් හා අන්ය වූ ඉපහළ ස්ථවිර ශ්රාවකයන් හා ද සමඟ වැඩ වසන සේක.
2. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්යායන තෙරණුවෝ සවස්වරුයෙහි ඵලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවන්ට තෙල සැළ කලහ. “ආයුෂ්මත් කාශ්යපයෙනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්මශ්රවණය සඳහා යම්හ” කියා යි. “ඇවැත්නි, එසේ යැ”යි මහා කාශ්යප තෙරණුවෝ මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.
3. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුත් තෙරණුවෝ ද ධර්මශ්රවණය පිණිස සැරියුත් තෙරණුවන් වෙත එළඹියාහු ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්මශ්රවණය පිණිස එළඹෙන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් අනුරුත් තෙරුන් ද දුටහ. දැක ආයුෂ්මත් රේවත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය: “ආයුෂ්මත් රේවතයෙනි, මේ සත්පුරුෂයෝ ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන් කරා ධර්මශ්රවණය කරණු පිණිස එළඹෙත්. ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ශාරිපුත්රයන් වහන්සේ කරා ධර්මශ්රවණය පිණිස යම්හ”යි කියා යි. ‘එසේ ය’යි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන් වෙත ධර්මශ්රවණය පිණිස එළඹියාහු ය.
4. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් ද, ආයුෂ්මත් රේවත තෙරණුවන් ද එනුවන් දුරැ ම දුටහ. දැක ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල කීහ: “ආයුෂ්මත් ආනන්දතෙමේ ඒවා. භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වූ ඔබගේ සන්තිකාවචර වු ආනන්දහට ස්වාගත වේවා. ඇවැත් ආනන්දයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්රිය (අභ්රමහිකාදි) දොස්රහිත ය. (පහන් ය). වෘක්ෂයෝ සවාරෙන් (මුලපටන් අග තෙක්) පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු භික්ෂුනමකගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
[ආයුෂ්මත් ආනන්ද:]
5. “ශාරිපුත්රයන් වහන්ස, මෙහි (යම්) මහණෙක් බහුශ්රුත වේ ද, ඇසූ දැය දරන්නේ වේ ද, ඇසූ දැය රැස්වූ තැනෙක් වේ ද, යම් ඒ ධර්මයෝ ආදිකල්යාණ වෙත් ද, මධ්යකල්යාණ වෙත් ද, පරියොසාන කල්යාණ වෙත් ද, සාර්ත්ථ වෙත් ද, සව්යඤ්ජන වෙත් ද, කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු. සිතින් නැවත නැවත පරීක්ෂා කරන ලද්දාහු, ප්රඥාවෙන් මනා ව අවබෝධ කරන ලද්දාහු වෙද් ද, හේ සප්ත අනුශයයන් නැසීම පිණිස සිවුපිරිසට පිරිමඩුලු වූ ප්රබද්ධ නො වූ (අතර නැති ව පවත්නා) පද ව්යඤ්ජනයෙන් යුක්ත ව දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්රයන් වහන්ස, මෙවැනි මහණහුගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
6. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට මෙය කීහ: ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් සිය වටහනු පරිදි ප්රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රේවත තෙරණුවන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්රිය පහන් ය. වෘක්ෂයෝ හැමතැන මලින් සැදියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුනමක් නිසා ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
[ආයුෂ්මත් රේවත:]
7. “ඇවැත් ශාරිපුත්රයන් වහන්ස, මෙහි යම් මහණෙක් පල සමවත් අරම් කොට ඇත්තේ පලසමවතෙහි ඇලුණේ වේ ද, තමා තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ ද, බැහැර නො කළ ධ්යාන ඇත්තේ වේ ද, විදර්ශනාවෙන් යුක්ත වූයේ වේ ද, ශුන්යාගාර (විදර්ශනා) වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්රයෙනි, මෙබඳු භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වෙයි”.
8. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රේවත තෙරණුවන් විසින් සිය වටහනු පරිදි ප්රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්රිය පහන් ය. වෘක්ෂයෝ සර්වාකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
[ආයුෂ්මත් අනුරුද්ධ:]
9. “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි යම් මහණෙක් ඉතා පිරිසිදු (කෙලෙස්මල සුන්) මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්රලෝකධාතුව බලා ද, ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්ස, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් වරපහාතලමතට ගියේ (පහාපිරිවෙන්හි නැබ පිහිටි) නිම්මඩුලු දහස් යම් සේ බලන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්ස, ඒ මහණ එපරිද්දෙන් ම මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවඇසින් සහස්රලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”