1. 2. 9.
ද්වේධා විතක්ක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්යවතුන් වහන්සේහට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. මහණෙනි, බුදුවීමට පෙර ම බුදු නො වූ බෝධිසත්ත්ව වූ ම මට මේ අදහස වී ය: “ඉදින් මම විතර්කයන් දෙ කොටසක් කොට, දෙ කොටසක් කොට වාසය කරන්නෙම් නම් ඉතා මැනව” යි. මහණෙනි, ඒ මම යම් මේ කාමවිතර්කයකුත් යම් මේ ව්යාපාදවිතර්කයකුත් යම් මේ විහිංසාවිතර්කයකුත් වේ ද, මෙය එක් කොටසක් කෙළෙමි. යම් මේ නෛෂ්ක්රම්යවිතර්කයකුත් යම් මේ අව්යාපාදවිතර්කයකුත් යම් මේ අවිහිංසාවිතර්කයකුත් වේ ද, මෙය දෙවන කොටස කෙළෙමි.
3. මහණෙනි, අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට කාමවිතර්ක උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ කාමවිතර්ක උපන්නේ ය. ඒ කාමවිතර්ක තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකැ”යි. මහණෙනි, තමහට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. ප්රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන සඳහා නො පවතින්නෙකි යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපන් කාමවිතර්කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.
4. මහණෙනි, අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට ව්යාපාදවිතර්කය උපදී ... විහිංසාවිතර්කය උපදී. ඒ මම මෙසේ දනිමි: ‘මට මේ විහිංසා විතර්ක උපන්නේ ය. ඒ විහිංසා විතර්කය තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකි යි. මහණෙනි, තමාට දුක් පිණිස පවති යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, ප්රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන පිණිස නො පවතින්නෙකැ යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම් උපනුපන් විහිංසාවිතර්කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.
5. මහණෙනි, මහණ තෙමේ යම් ම විතර්කයක් බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ ද, නැවත නැවත හසුරුවා ද, ඒ ඒ ලෙසින් ම සිත්හි නැඹුරුබව වෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ කාමවිතර්කය ම බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් නෛෂ්ක්රම්ය විතර්කය දුරු කෙරෙයි. කාමවිතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත කාමවිතර්කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ ව්යාපාද විතර්කය බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අව්යාපාදවිතර්කය දුරු කෙරෙයි. ව්යාපාද විතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත ව්යාපාද විතර්කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ විහිංසාවිතර්කය බහුල කොට නැවැත නැවැත විතර්කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අවිහිංසාවිතර්කය දුරු කෙරෙයි. විහිංසාවිතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත විහිංසා විතර්කය පිණිස නැමේ.
6. මහණෙනි, යම් සේ වැසිසමය පිළිබඳ පැසුළු මස ගොයමින් හක (හානි) වූ සරාකල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේ ද, හෙ තෙමේ ඒ ගවයන්ට ඒ ඒ දෙසින් පිටෙහි දඬුයෙන් (කෙළින්) පහර දෙන්නේ ය. ඉලඇටෙහි සරසින් පහර දෙන්නේ ය. ඔබමොබ යෑමෙන් අවුරා සිටිනේ ය. වළක් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නො රැක්ම හේතු කොට ගෙන වධයක් හෝ බන්ධනයක් හෝ ධනහානියක් හෝ ගර්හාවක් හෝ දක්නේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මම අකුශල ධර්මයන්ගේ දෝෂය ලාමකබව කෙලෙසීම ද කුශල ධර්මයන් පිළිබඳ නෛෂ්ක්රම්යයෙහි අනුසස් ද විශුද්ධිපක්ෂය ද දිටිමි.
7. මහණෙනි, මෙසේ අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට නෛෂ්ක්රම්ය විතර්කය උපදී. ඒ මම මෙසේ දනිමි: මට මේ නෛෂ්ක්රම්ය විතර්කය උපන්නේ ය. ඒ නෛෂ්ක්රම්ය විතර්කය තෙමේත් තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නො වූවෙකි. නිවන් සඳහා පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු ඒ විතර්කය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිදු ඒ විතර්කය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දාවල මුළුල්ලෙහි ඒ විතර්කය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්තවූ කල්හි සිත නො සන්හුන් වේ. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සන්තානයෙහි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටු වමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නො සන්හුන් වේවා යි. (සිතීමෙනි.)