2. සීහනාද වර්‍ගය
1. 2. 1.
චුළසීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ සේක. එ භික්‍ෂූහු “වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
2. මහණෙනි, පළමු මහණ (සෝවාන්) මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ (සෙදගැමි) මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ (අනගැමි) මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ (රහත්) මේ සස්නෙහිමය. අන්‍යත් ද්වාෂෂ‍්ටිවාද සඞ්‍ඛ්‍යාත පරප්‍රවාදයෝ (සමයාන්තරයෝ) ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ. මහණෙනි, මෙසේ ම මනා කොට සිංහනාද කරවු. මහණෙනි, මේ අන්තොටු පිරිවැජියෝ “ආයුෂ්මත්නි, යම් හෙයකින් තෙපි කරණ කොට ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියන්නාහු නම් එහිලා ආයුෂ‍්මතුන්ට ඇති ආශ්වාසය කිමෙක? බලය කිමෙකැ? යි මෙසේ කියන්නාහු ය” යන තෙල කරුණෙක් ඇති වෙයි.
3. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ තෙල සෙයින් කියයුතු වෙති: ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමා කෙරෙහි මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. තෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. සියුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍ම සතරෙක් ඇත. කවර සතරෙක යත්: ඇවැත්නි, අපගේ ශාස‍්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇත. ධර්‍මය කෙරෙහි පැහැදීම ඇත. ශීලයෙහි පරිපූර්‍ණකාරිත‍්වය ඇත. ගිහියෝ ද පැවිද්දෝ ද යන ආර්‍ය්‍යශ්‍රාවක සහ ධාර්මික පිරිස්හු දු උනුනට ප්‍රිය වෙති. මනාප(කල්) වෙති. ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමන් තුළ මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි මය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෝ සතර දෙන වෙති.
4. මහණෙනි, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ “අවැත්නි යමෙක් අපගේ ශාස්තෘ වේ ද, ඒ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අප ද ගේ පැහැදීම ඇත. යමක් අපගේ ධර්‍මය වේද, (ඒ) ධර්‍මය කෙරෙහි අපගේ ද පැහැදීම ඇත. අපගේ යම් ශීලයෝ වෙත් ද, අපි දු ඒ සිල් පුරන සුල්ලමෝ වම්හ. අප ද ගේ සහධාර්මික වූ ගිහියෝ ද පැවිද්දෝ ද උනුනට ප්‍රිය වෙති. කල් වෙති. ඇවැත්නි, තෙල ප්‍රසාදයෙහි ලා තොප සහ අපගේත් විශේෂය කවරේ ය? අධික ප්‍රයෝගය කවරේය? වෙනස කවරේය? යි මෙසේ කියන්නාහු ය” යන මේ කාරණය විද්‍යාමාන වෙයි.
5. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කිම (ඒ ප්‍රසාදයාගේ) නිෂ්ඨාව එකෙක් ද? නොහොත් බොහෝ නිෂ්‍ඨා ඇත්දැ?යි” මෙසේ කියයුතු වෙත්. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මනාකොට(කරුණු සහිතව) ප්‍රකාශ කරන්නාහු “ඇවැත්නි, නිෂ්‍ඨාව එකෙක් ම ය. නිෂ්‍ඨාවෝ බොහෝ නො වෙති” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
6. ඇවැත්නි, එ නිෂ්‍ඨාව රාග සහිතයාහට වේ ද? නොහොත් රාග රහිතයාහට වේ ද? (මෙසේ කියයුතු වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව වීතරාගයාහට වෙයි. එ නිෂ්‍ඨාව සරාගයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට වේ ද? නොහොත් ද්වේෂ රහිතයාහට වේ ද? (මෙසේ කියයුතු වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ රහිතයාහට වෙයි. එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.