1. 2. 10.
විතක්කසණ්ඨාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂුහු වහන්ස, යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
2. මහණෙනි, අධිචිත්තයෙහි (විදර්ශනාපාදක අෂ්ටසමාපත්ති චිත්තයෙහි) යෙදුණු මහණහු විසින් කලින් කල කරුණු පසෙක් මෙනෙහි කළයුතුය. කවර පසෙක් ද යත්:
3. මහණෙනි, මේ ශාසනයෙහි යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන මහණහුට ලෝභභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගතවූත් ලාමක වූ අකුශල විතර්කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්ය වූ කුශලයෙන් යුක්තවූ නිමිත්තෙක් මෙනෙහි කළ යුතුය. ඒ නිමිත්තෙන් අන්ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්කයෝ වෙත් ද, ඔහු ප්රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් සිය සතන්හි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ සියුම් ඇණයකින් මහා ඇණයකට ගසන්නේ ද, (ගසමින් පුවරුවෙන්) බැහැර කරන්නේ ද, (අතින්) ඇද දමන්නේ ද, මහණෙනි, එසේ ම යම් අරමුණකට පැමිණ යම් අරමුණක්මෙනෙහි කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහ සහගත් වූත් ලාමක අකුශල විතර්කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තෙක් මෙනෙහි කළයුතු ය. ඒ නිමිත්තෙන් අන්ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්කයෝ වෙත් ද, ඔව්හු ප්රහීණ වෙත්. විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් සන්තානයෙහි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (1)
4. මහණෙනි, ඒ නිමිත්තෙන් අන්ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්කයෝ උපදිත් ම නම් මහණෙනි ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්කයෝ සාවද්යයහ. මෙයිනුදු මේ විතර්කයෝ දුඃඛ විපාකයහ” යි ඒ විතර්කයන්ගේ දෝෂය පිරික්සිය යුතුයි. ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්නා ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්කයෝ වෙත් ද ඔහු ප්රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
මහණෙනි, යම් සේ තරුණ වූ සැරසෙන සුලු ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුණු සප්කුණකින් හෝ බලුකුණකින් හෝ මිනිස්කුණකින් හෝ හටගත් දුක් ඇත්තේ වන්නේ ද, ලජ්ජිත වන්නේ ද හටගත් පිළිකුල් ඇත්තේ වන්නේ ද, මහණෙනි, ඒ පරිද්දෙන්ම ඒ නිමිත්තයෙන් ද අන්ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ අකුශල විතර්කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්කයෝ සාවද්යයහ. මෙයිනුදු මේ තර්කයෝ දුඃඛවිපකයහ” යි ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කොට බැලිය යුතුය. ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් යම් ලාමක වූ අකුශලවිතර්කයෝ වෙත් ද, ඔහු ප්රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (2)
5. මහණෙනි, ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ විතර්කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ අකුශල විතර්කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනවි. ඒ විතර්කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්කයෝ වෙත් ද, ඔහු ප්රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් ඇතුළත ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධි ගත වෙයි. මහණෙනි, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් හමුවට පැමිණි රූපයන් නො දකිනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ ඇස් පියා ගන්නේ හෝ වේ ද, අන් දෙසක් බලන්නේ හෝ වේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනැවි. ඒ විතර්කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්කයෝ වෙත් ද, ඔහු ප්රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් සන්තයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (3)
6. මහණෙනි, ඒ විතර්කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්කයන්ගේ මුලස්ථානය මෙනෙහි කළයුතුයි. ඒ විතර්කයන්ගේ විතර්කමුලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක විතර්කයෝ වෙත් ද, ඔහු ප්රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.