1. 2. 5.
අනුමාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්යායන ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,”යි භික්ෂූන් ඇමැතූහු. ඒ භික්ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු “මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වා”යි පවරතුදු, හෙ ද, දුර්වච වූයේ දුර්වචභාවය කරන (මතු එන සොළොස්) ධර්මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.
2. ඇවැත්නි, දුර්වචභාවය කරන ධර්මයෝ කවරහ?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් පාපේච්ඡ වූයේ, ලාමකඉච්ඡාවන්ගේ වශයට ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් වනාහි මහණ ලමු ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (1)
3. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා දක්නේ පරා හෙළා වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (2)
4. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධයා විසින් මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධයා විසින් මඩනා ලද්දේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (3)
5. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (4)
6. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධය හේතු කොට ගෙන ගැටෙන සුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධය හේතු කොට ගෙන ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (5)
7. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධයට අසල් වචන විහිදනුයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්රෝධ කරනසුලු වූයේ, ක්රෝධයට අසල් වචන විහිදනුයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (6)
8. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටුනේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට ප්රත්යනීක ව සිටී ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (7)
9. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගටා ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (8)
10. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට වටාලා චෝදනා කරයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (9)
11. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසයි. කථාව බැහැර පහ කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්රීතියත් පහළ කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක පිළිසොයා ද, කථාව බැහැර නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්රීතියත් පහළ කෙරේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (10)
12. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (11)
13. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු වූයේ යුගග්රාහ ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු වූයේ යුගග්රාහ ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (12)
14. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්ෂ්යා කරනසුලු වූයේ මසුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්ෂ්යා කරනසුලු වූයේ මසුරු වූයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (13)
15. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (14)
16. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (15)
17. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ හරනට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (16)