1. 2. 6.
චේතෝඛිල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මහණෙනි, යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, යම් කිසි මහණක්හුගේ සිත්කසළහු පස්දෙන නො පහ වූහු ද, සිත පිළිබඳ බැඳුම්හු පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්යමාන නො වෙයි.
3. ඔහුගේ නො පැහු සිත්කසළහු පස්දෙන කවරහු ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඒ මහණහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ පළමුවන සිත් කසළ ප්රහීණ නො වූයේ වෙයි.
4. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්මය කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි, නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්මය කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ දෙවන සිත්කසළ ප්රහීණ නො වූයේ වෙයි.
5. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ මේ තෙවන සිත්කසළ ප්රහීණ නො වූයේ වෙයි.
6. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්ෂාව කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්ෂාව කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සාතත්යය පිණිස ප්රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ සතරවන සිත්කසළ ප්රහීණ නො වූයේ වෙයි.
7. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්රම්සරුන් කෙරෙහි කිපියේ ප්රීතිසෞමනස්ය විසින් නොගන්නාලද සිත් ඇතියේ, ගැටුණු සිත් ඇත්තේ, උපන් සිත්කණු ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්රියා පිණිස ප්රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පස්වන සිත්කසළ ප්රහීණ නො වූයේ වෙයි.
මොහුගේ සිත පිළිබඳ කසළහු පස්දෙනා ප්රහීණ නො වූවාහු වෙත්.
8. ඔහුගේ සිත පිළිබඳ නො සිඳුණු බැඳුම් පස්දෙනා කවරහු වෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්රියා පිණිස ප්රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්රියා පිණිස ප්රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පළමුවන චිත්තවිනිබන්ධය නො සිඳුණේ වෙයි.
9. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්රියා පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර නිතර වැර කිරීම පිණිස කෙලෙස් දැවීම පිණිස ප්රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන චිත්තවිනිබන්ධය නො සිඳුණේ වෙයි.