1. 2. 4.
චුළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.
2. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු විසින් දෙසූ දහම මෙසේ මම දීර්‍ඝරාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වේෂධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මෝහධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වේෂධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මෝහධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්‍දේහ සහිත සිත) යි.
3. මහානාමය, “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, ද්වේෂධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, මෝහධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙ ම ලෝභද්වේෂමෝහාඛ්‍යධර්‍මය තා සතන්හි නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලෝභාදිධර්‍මය තා සතන්හි ප්‍රහීණ වී නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙහි. ද්විවිධකාමසම්පතුදු නො වළඳන්නෙහි. මහානාමය, යම් හෙයෙකින් හෙ ම ලෝභාදිධර්‍මය තා සතන්හි අප්‍රහීණ වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයනුදු වළඳ කෙරෙහි.
4. මහානාමය, ඉදින් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ (පරිත්තසුඛ වන බැවින්) අල්පාස්වාදයහ. (ඉහභවයෙහිදු සම්පරායභවයෙහිදු අනන්තදුඃඛදායක වන බැවින්) බහුදුඃඛයහ. ඓහලෞකික (පාරලෞකික උපායාසක්ලේශසාධක වන බැවින්) බහුපායාසයහ. (දෘෂ්ටධාර්මික සාම්පරායික උපද්‍රවාධිෂ්ඨාන වන බැවින්) තෙල කාමසම්පතෙහි ආදීනව බෙහෙවැ” යි මෙසෙයින් යථාස්වභාවය මනා නය විසින් ප්‍රඥායෙන් (සෝවන් සෙදගැමි දෙමඟනැණින්) මනා කොට දක්නා ලදුයේ වෙයි. හෙ අරීසවු දු කාමයන් විනා මැ ලමු අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය (සප්‍රීතික දෙ දැහැන) අධිගම නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදැහැන හා දෙමඟ හා) අධිගම නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තිත ම වන්නේ ය. සෙසු දැහැනින් කරන විෂ්කම්භන ප්‍රහාණය හා මතු දෙමඟනැණින් කරන සමුච්ඡෙදප්‍රහාණය හා නැති හෙයින.)
5. මහානාමය, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයවිසින් විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වේ. හෙ ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා ම ප්‍රීතිසුඛය අධිගම කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)
6. මහානාමය, මාර්‍ගසම්බෝධයෙන් පළමු මැ චතුස්සත්‍යාවබෝධ නොකළ බෝසත් වැ සිටි මවිසුනු දු “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනානයින් (ඇතොරනළුදනා හැරැපියන) ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වෙයි. මම ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම නො කෙළෙම් වේ ද, එ වරා, ශාන්තතර අනෙකෙක් හෝ (මතු දෙදැහැන හා සතර මඟ හා) අධිගම නොකෙළෙම් වේ ද, වැළිත් මම එතැන් දක්වා “කාමයෙහි අනාවර්තීයෙමි” යි නො මැ පිළින කෙළෙමි.