1. 2. 3.
මහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට මෙවැනි අදහසෙක් වීය: ‘පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ අරමට පැමිණනේනෙමු නම් මැනැවැ’යි.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළැඹියහ. එළැඹැ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් කාමයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණිය පනවයි. අපි ද රූපයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනා සමඟ ධර්‍මදේශනා ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධික ප්‍රයෝග කවරේ ද? නානාකාරණය කුමක් ද?
3. එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙවු ද නො කළහ. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු”යි හුනස්නෙන් නැගිට ගියාහු ය.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළඹෙන්නෙමු නම් මැනැවැ’යි. වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රාහාණය පනවයි. අපි දු කාමයන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපි දු රූපයන්ගේ ප්‍රාහාණිය පනවමු.
ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපි දු වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනාව සමග ධර්‍මදේශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධිකප්‍රයෝගය කවරේ ද? නා නා කාරණය කුමක් දැ? යි. එකල්හි වහන්ස, ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගතිමු. පිළිකෙවු ද නො කෙළෙමු. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි හුනස්නෙන් නැගිට ගියෙමු.
5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.
6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ ... රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමෝපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.
7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුළං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.