25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දනිත් ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතු සේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දන්නා හු ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්යමාන වේ.
26. මහණෙනි, වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්මයන් ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්හට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි. එකල නිදුක් වූ වේදනාවක් ම විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.
27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම කරන සිතේ එකඟ බව වූ විතර්ක රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සැප ඇති, ද්විතීය ධ්යානයට ... තෘතීය ධ්යානයට ... චතුර්ත්ථධ්යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්රහාණියෙන් ද දුඃඛප්රහාණියෙන් ද පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්ෂාස්මෘති පරිශුද්ධි ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එකල්හි තමාට ද දුක් පිණිස නො සිතා ම ය. අන්හට ද දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නොසිතා ම ය. එකල්හි නිදුක් වූ ම වේදනාව විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.
28. මහණෙනි, වේදනාවන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, යම් හෙයෙකින් වේදනාව අනිත්ය ද දුක් ද පෙරළෙනසුලු ද, මේ වේදනාවන්ගේ ආදීනව ය යි.
29. මහණෙනි, වේදනාවන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, වේදනාවන්හි යම් ඡන්දරාග විනයයෙක් වේ ද, ඡන්දරාග ප්රහාණියෙක් වේ ද, මෙය වේදනාවන්ගේ නිස්සරණය යි.
30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්යාමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්යමාන වේ.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
මහාදුක්ඛක්ඛන්ධ සූත්රය තෙවැනි යි.
1. 2. 4.
චුළදුක්ඛක්ඛන්ධ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.
2. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු විසින් දෙසූ දහම මෙසේ මම දීර්ඝරාත්රයෙහි දැන සිටිමි. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලෝභධර්මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වේෂධර්මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මෝහධර්මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලෝභධර්මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වේෂධර්මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මෝහධර්මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්දේහ සහිත සිත) යි.