17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්‍ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.
18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසූ හැවිරිදි වූ හෝ අනූ හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්‍ණ වූ ගොනැස්සක් සේ වක් වූ බිඳුණා වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රෝගී වූ පහ වූ යොවුන් ඇති කඩදත් ඇති පැසුණු කෙහෙ ඇති වැටුණු කෙහෙ ඇති පැතැටි වූ වලයිත වූ (හටගත් ඇඟ රැළි ඇති) තලකැලලින් ගැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේය. මහණෙනි, මේද රූපයන්ගේ ආදීනවය යි.
19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රෝගී වූ දුඃඛිත වූ දැඩි ගිලන් වූ තමාගේ ම මලමූයෙහි ගැලී හොවින මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිඳවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.
20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් පූයා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහුද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනව ය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නා වූ ගිජුළිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ විවිධ වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක්වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද? ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු ... අන් තැනෙක අත්ඇට ය, අන් තැනෙක පාඇට ය, අන් තැනෙක දඟඇට ය, අන් තැනෙක කලවා ඇට ය, අන් තැනෙක උකුළු ඇටය, අන් තැනෙක පිටකටුව, අන් තැනෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදසැ විසුරුණු ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරු දහන් වී ද, ආදීනවය පහළ වීද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.