1. 2. 2.
මහාසීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානගර සමීපයෙහි බිහිනුවර නුවරින් පැළදිග වනලැහැබෙහි වැඩ වසන සේක. ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මේ ශාසනයෙන් නික්ම ගිය නොබෝකල් ඇති වෙයි. හෙ විශාලාමහනුවර පිරිස් මැද මෙසෙයින් තෙපලයි: “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය පිණිස සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් පර්‍ය්‍යාහත (ගැටුම්) කොට විමසුම් නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු වු දහමක් දේශනා කරයි. (එහෙත්) යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය දේශිත පරිදි කරනුවාගේ දුක් මැනැවින් නස්නා පිණිස වැටේය” කියා යි.
2. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු සිවුරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන විශාලානුවරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුම් කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය” යි විශාලානුවර පිරිස් මැද මෙබඳු වචන කියන ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්තයාගේ කථාව ඇසූහ.
3. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසල්පුර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මෙ සස්නෙන් පහව ගිය විරූ නොබෝකල් ඇත්තෙක. විශාලා නගරයෙහි පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගටා විමසුමෙන් එළවා ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි මෙබඳු වචනයක් කියයි.
4. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂ ක්‍රෝධ කරන සුලුය. ක්‍රෝධ හේතුයෙන් තුලුන් විසින් මේ වචනය කියන ලදි. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත මෝඝපුරුෂ ‘නුගුණ කියමි’ යි තථාගතයන්ගේ ගුණයක් ම කියයි. ශාරිපුත්‍රය, “තථාගතයන් විසින් යම් අර්‍ත්‍ථයක් පිණිස යමකුට ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නාහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි යමෙක් කියා නම්, එය තථාගතයන්ගේ ගුණයෙක් ම ය.
5. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට - “මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්‍මයෙන් හා යුක්තයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථීහ. දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ” යි මා කෙරෙහි මේ (සර්‍වඥතාඥාන සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනීමෙහි සමර්‍ත්‍ථ ඥානය වූ) ධර්‍මාන්‍වය ද නො වෙයි.
6. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට - “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනු දු නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති: එකෙක් වූහු බොහෝ ව මැවෙත්. බොහෝ වූවාහු ම එකෙක් ව මැවෙත් ප්‍රකට භාවයට අප්‍රකට භාවයට පත්වන සේක. බිත්තියෙන් පිටත පවුරෙන් පිටත පව්වෙන් පිටත අහසෙහි යනුවන් මෙන් නොගැටෙමින් යන සේක. ජලයෙහි සෙයින් පොළොවෙහි ද ඉල්පීම් ගැලීම් කරන සේක. පොළොවෙහි සෙයින් නොබිඳෙන දියෙහි ද යන සේක. අහසෙහි ද පක්‍ෂීශකූනීන් සෙයින් පර්‍ය්‍යඞ්කයෙන් යන සේක. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා කරතලයෙන් පරාමර්‍ශන කරන සේක. පිරිමදින සේක. බඹලොව ද තෙක් කයින් විසිය පවත්වන සේකැ”යි මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය (ඍද්ධිවිධඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා ඥානය) ද නො වෙයි.