45-AP-Dhammasanganippakarana.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1973
- මුද්‍රිත වර්ෂය :
- 1973
- පිටු ගණන :
- 614
- බාගත කිරීම් ගණන :
- 2,956
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 115 MB
වෙනත් සංස්කරණ
- ධම්මසඞ්ගණිප්පකරණ පාලි - බෙන්තර ශ්රද්ධාතිස්ස හිමි 1929
බෙන්තර ශ්රද්ධාතිස්ස හිමි · 1929
- ධම්මසඞ්ගණිප්පකරණ පාලි - ශ්‍රීපාද
කිරිඇල්ලේ ඤාණවිමල හිමි · 1952
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධම්මසඞ්ගණීප්පකරණය යනු බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 41 වන වෙළුම ලෙස පළ කරන ලද, අභිධර්ම පිටකයේ ප්‍රථම ග්‍රන්ථයයි. බුද්ධ ජයන්ති උත්සවය නිමිත්තෙන් ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ආරම්භ කර, පසුව ලංකාණ්ඩුවේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මගින් සංස්කරණය කොට සිංහල පරිවර්තනය සහිතව මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙහි පාලි පෙළ ශෝධනය සහ සිංහල අනුවාදය සිදු කරන ලද්දේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි උපාචාර්ය, කොළඹ නවකෝරළයේ අනුනායක ධුරන්ධර ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ සහ හිඟුල මාකඩවර විහාරවාසී පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසිනි. පරවාහැර සිරිවජිරඤාණ නාහිමි ඇතුළු ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ විද්වත් හිමිවරුන්ගේ දායකත්වය ද මීට ලැබී ඇත.
ග්රන්ථ ආරම්භයේ අභිධර්මයේ සම්භවය, ඉතිහාසය, අටුවාගත විවරණ හා විතණ්ඩවාද බිඳලීම පිළිබඳ කරහම්පිටිගොඩ සුමනසාර හිමියන් විසින් සම්පාදිත දීර්ඝ සංඥාපනයක් (හැඳින්වීමක්) ඇතුළත් වේ. පාලි පෙළ සහ සිංහල පරිවර්තනයට අමතරව අවසානයේ නිරුක්ති සහ විශේෂ පද අනුක්රමණිකා ද සංග්‍රහ කර ඇත.
සංස්කාරක නිවේදනය
අභිධම්මපිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසඞ්ගණීප්පකරණය” බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලාවෙහි එක්සාලිස්වන ග්‍රන්ථය වෙයි. බුද්ධ ජයන්ති උත්සව සංවිධානය සඳහා ලංකාරජය මගින් පත්කරනලද ලංකා බෞද්ධ මණ්ඩලයේ සමාරාධනය පරිදි ධම්මසඞ්ගණීප්පකරණය සිංහලයෙන් ව්‍යාඛ්‍යාන කරනලද නමුත් එය බෞද්ධ මණ්ඩලයෙන් සම්මත වූ සැලැස්ම අනුව නො ගිය හෙයින් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය විසින් ධම්මසඞ්ගණීප්පකරණයෙහි පාඨශෝධනය හා සිංහල අනුවාදය ද කළ මැනවැයි අප වෙත පවරනලද්දේ විය.
ධම්මසඞ්ගණී පරිවර්තනය අත්යයික කාර්ය්යයක් වූයෙන් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි උද්යෝගිමත් සාමාජිකයකු වූ පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ද සහාය කොටගෙන යථෝක්ත කාර්ය්යය අප විසින් සපුරාලනලද්දේ ය.
ප්‍රවචනොදය පිරිවෙන්හි උපප්රධානාචාර්ය්යධුරීණ වැ සිටි පණ්ඩිත සුමනසාර ස්ථවිරයන් වහන්සේ ඉතිහාස පුරාවිද්යායෙහි ද තර්කන්යායාදියෙහි ද විශේෂ කුශලතාවෙන් යුක්තයහ. ඒ ස්ථවිරයන් ධම්මසඞ්ගණීප්පකරණය සඳහා ලියූ දීර්ඝ සංඥාපනය නවීනයනට මතු නො වැ ප්‍රවීණයනට පවා වැඩදායකයෙකි. එහි “අභිධම්ම” ශබ්දාර්ථය පෙළ අටුවානය ගෙන විදග්ධ කොට ඇත. කාලාන්තරයෙහි සිට විතණ්ඩවාදීන් අභිධම්මපිටකය සඳහා ඉදිරිපත් කරන දූෂණ මැනැවින් නිරාකරණය කරනලද වෙයි. ලක්දිවැ අභිධම්පිටකය සඳහා එන ඓතිහාසික සටහන්දු නහා දක්වති. ධම්මසඞ්ගණීප්පකරණයෙහි එන ධම්මවිභාගය සංග්‍රහ කොට දක්වනලද්දේ ද වෙයි.
ත්‍රිපිටක ග්රන්ථ මුද්‍රණය ඉක්මනින් නිමවාලනුවස් ශොධිත ධම්මසඞ්ගණී පෙළ හා සිංහල පරිවර්තනය ද 1960 දී පමණ එක්තරා මුද්‍රණාලයකට භාරදෙන ලදුව බොහෝ දුරට මුද්‍රණය අවසාන වී තිබිය දී අප නොදත් යම් කිසි හේතුවක් නිසා මුද්රණකාර්ය්යය නැවතුණේ ය. මඳ කලකට පසු දතහැකි වූයේ මුද්‍රණයට සකස් කළ අත්පිටපත් මතු නොවැ මුද්‍රිත කොටස් පවා සොයාගත නො හැකි වූ බවෙකි. එහෙයින් දෙවැනිවරට ද ධම්මසඞ්ගණී පරිවර්තනය සපුරාලන්නට සිදුවිය.
ධම්මසඞ්ගණීප්පකරණයේ මුද්‍රණය වහා නිමහම් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ ත්‍රිපිටක සංස්කාරකමණ්ඩලයේ සම්පාදක වූ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ විනේතෲභූත දර්ශනවිශාරද පරවාහැර සිරිවජිරඤාණ නාහිමිපාණන් වහන්සේ ප්රමුද්රිත කොටසෙහි අවසාන සංස්කරණය සිදු කළහ. මේ කාර්‍ය්‍යයෙහි ලා වර්තමාන ත්‍රිපිටක සංස්කාරකමණ්ඩලයේ සභාපති අහංගම විද්‍යාචන්ද්‍ර පරිවෙණාධිපති පණ්ඩිත කෝදාගොඩ ඥානාලොකාභිධාන දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේගේ ඥානාලොකය ද මෙහි වැටී ඇත. ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ ලේඛකාධිකාරී පණ්ඩිත දෙරංගල්වෙ ධම්මපාල නායක ස්ථවිරයන් වහන්සේ ද මේ කාර්‍ය්‍යයෙහි සහාය වූහ. මේ මුද්‍රණය අඩාල වැ හෙළිදක්වාලියැ නො හැකි වැ තුබූ ධම්මසඞ්ගණීප්පකරණය සපුරාලීමට උපස්තම්භ වූ ස්වදේශීය මුද්රණශිල්පීහු ද, ලංකා බෞද්ධ මණ්ඩලයේ සුධීහු ද, මෙය පළකරවාලූ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධිකාරීහු ද අභිධර්ම ප්රකාශනයෙන් ජනිත කුශලයෙන් සුඛභාගීහු වෙත්වා’යි ආශංසනය කරම්හ.
ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්රිපිටකසම්පාදකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
1972-12-30
ත්රිපිටකකාර්ය්යාලය,
මහානායකවාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ. 7.
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය
උපදෙශක: එක්සත් අමරපුර මහා නිකායේ සභාපති අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය මහානායක මහාස්ථවිරපාදයන් වහන්සේ.
සභාපති: අහංගම විද්යාචන්ද්රපරිවෙණාධිපති ත්‍රිපිටක වාගීශ්වර පණ්ඩිත කෝදාගොඩ ශ්‍රී ඥානාලොක දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ.
ප්‍රධාන සම්පාදක: මොල්ලිගොඩ ප්‍රවචනොදය පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය ත්‍රිපිටක වාගීශ්වර පණ්ඩිත ලබුගම ලංකානන්ද - කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක ස්ථවිරයන් වහන්සේ.
සම්පාදක: දෙමටගොඩ ධර්මදූතාශ්‍රම විද්‍යාලයාධිපති පණ්ඩිත පරවාහැර පඤ්ඤානන්ද (බී. ඒ. ලන්ඩන්) කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ.
හිඟුලේ - මාකඩවර විහාරාධිවාසී පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ.
ලේඛකාධිකාරී: බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක විහාරාධිපති පණ්ඩිත දෙරංගල්වෙ ධම්මපාල කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ.
සංඥාපනය
විජ්ජාභරණ: ත්රිසාසනසුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් සත්වැනි වසැ රජගහනුවර බිම්බිසාර මහරජහු විසින් කරවා දුන් වේළුවන අරමෙහි වැඩවසන දවස් රජගහ සිටු ‘තමන් රහත්හ’ යි පිළින කරන විවිධ දෘෂ්ටිවාදීන් පිරික්සනුවට සැටරියන් හුණදඬුයෙකැ ලා රත්සඳුන් පාත්‍රයක් අහස්හි නඟාලා ‘රහත්හු ඇත් නම් ඉගිළෙමින් ගොස් ගනිත්ව’ යි නුවර බෙර ලැවී. සදිනෙක් ඉක්මගියේ යැ, සඳුන්පය ගන්නෝ නැති. එකරුණින් ‘ලොවැ සැබැවින් රහත්හු නැහැ’ යි නුවරවැස්සෝ කියන්නට වන්හ. සත්වන දවස එනුවර පිඬුසිඟා වඩනා මහාමුගලන් තෙරණුවනටත් පිණ්ඩොලභාරද්වාජ තෙරණුවනටත් එබස් ඇසිණ. එකල මහමුගලන් තෙරණුවන්ගේ බසින් පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ ඉගිළියෙමින් ගොස් පාත්‍රය ගෙන ලොව සැබැවින් රහතුන් විසින් නොහිස් බව පළ කළහ. බුදුහු එපවත් අසා “භික්ෂූන් සාධිප්රාතිහාර්ය්ය නොපෑයුතු යැ”යි ශික්ෂා පැනවූහ. ‘ශ්‍රාවකයන් විසින් නො කළයුතු යැ’යි පනවන ලද්ද බුදුනුදු නො කෙරෙති”යි සිතු තීර්ථකයෝ සාධිප්රාතිහාර්ය්ය පිණිස බුදුරදුනට වාදාරෝපණ කළහ. බිම්බිසාර මහරජහු විසින් දන්වනලද බුදුහු උන්ගේ වාද පිළිගෙන ඉන් සාරමසෙකින් මොබ ඇසැළැ මැදිපොහෝ දවස්හි සැවැත්නුවර ගණ්ඩබ්බරුක්මුල්හි දී යමාමහපෙළහර දක්වා තීර්ථකයන්ගේ මාන මර්දන කොට සත්වැනි වස සඳහා තව්තිසා දෙව්ලොවට වැඩිසෙක. එහි පරසතු රුක්මුල්හි පඬුඇඹුල්සලස්නෙහි වැඩහිඳ මාතෘදිව්‍යරාජයා ප්රමුඛ කොට දසදහසක් සක්වළ දෙවියනට ‘කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්යාකතා ධම්මා’ ආදීන් තෙමසක් මුළුල්ලෙහි අභිධර්මදේශනා කළසේක. දවස දවස පිඬු පිණිස මිනිස්ලොවට වඩනා බුදුහු අනවතප්තදහතලායෙහි දී උවටන් පිණිස තමන්වහන්සේ වෙත එළැඹෙන දම්සෙනෙවි සැරියුත් තෙරණුවන් අමතා: ‘ශාරිපුත්‍රයෙනි, අද මා විසින් මෙතෙක් දහම් දෙසන ලද’යි තෙරණුවනට එදහම් නය විසින් වදාරති. තෙරණුවෝ එ නය ගෙන එදා යමාමහපෙළහරෙහි පැහැද තමන් වහන්සේ වෙත පැවිදි වූ පන්සියක් අතැවැසියනට එදහම් සිය, දහස්, සුවහස් නයින් විභාග කොට හදාරවති. මෙසෙයින් සම්බුදුරදුන් තව්තිසාවෙහි විජ්ජාදෙසුම් නිමවත් මැ මිනිස්ලොවැ සැරියුත් තෙරණුවන්ගේ අතැවැසියොත් සප්තප්රකරණාන්ත විජ්ජාභරණ හදාරා නිමවූහ. මෙසේ සම්බුදුරදුන් විසින් දෙවියනට දෙසු අභිධර්මයෙහි වාචනාමාර්ගය මිනිස්ලොවැ දම්සෙනෙවි සැරියුත් මහරහත් තෙරණුවන් ප්‍රභව කොට පහළ වී. සම්බුදුරදුන් විසින් දෙසු නය විභාග කොට දේශිත වන බැවින් එය බුද්ධවචනයෙහි මැ වැටෙයි. ප්‍රථම සංගීතියෙහි දී මහසුප් තෙරණුවන්ගේ පිළිවිසීමෙන් ධම්මභාණ්ඩාගාරික අනඳ තෙරණුවන් විසින් විසඳන ලදුව පන්සියක් මහරහතුන් විසින් සංගීත වූ අභිධර්මපිටකය දඹදිවැ ඇදුරෝල්හි පිළිවෙළින් සැරියුත් තෙරණුවන් පටන් කොට භද්දජී, සෝභිත, පියජාලි, පියපාල, පියදස්සී, කොසියපුත්ත, සිග්ගව, සන්ධෙහ, මොග්ගලීපුත්තතිස්ස, සුදත්ත, ධම්මිය, දාසක, සොණක, රෙවත යන මහ තෙරහු තුන්වැනි සංගීති කාලය තෙක් වාචනා කොටගෙන ආහ. දෙවනපෑතිස් මහරජුන් දවස දඹදිවැ දම්සෝ මහනිරිඳු පුත් අනුබුදු මිහිඳුමහරහතුන් විසින් ලක්දිවට ගෙන එන ලද
එදහම් ලක්දිවැ ඇදුරෝල්හි වාචනාමාර්ගයෙහි ආයේ වලගම්අබා මහරජුන් දවස මාතුලජනපදයෙහි අලුලෙන්හි දී ග්‍රන්ථාරූඪ කරන ලද වැ මෙතෙක් නිමල වැ පවත්නේ යි. මේ සැකෙවින් දක්වන ලද්දේ අභිධර්මය පිළිබඳ අටුවාගත ඉතිහාසය යි.
අභිධම්මො: අභිධම්මශබ්දයෙහි අර්ථවිවරණ නොයෙක් අයුරින් අටුවාහි දක්නට ඇත. “අභිධම්මොති නාමරූප පරිච්ඡෙදො”යි අභිධර්ම යනු නාමරූපපරිච්ඡේද බව සමන්තපාසාදිකා1 විනය අටුවාහි ද සාරත්ථදීපනී2 විනයටීකාහි ද එයි. “අභිධම්මොති අතිවිසිට්ඨො ධම්මො, ඉමෙසු සත්තතිංසබොධිපක්ඛියධම්මෙසුති අන්යෙ”3 යි අභිධර්ම යනු විශිෂ්ට ධර්මයෙහි-සත්තිස්බෝධිපාක්ෂිකධර්මයෙහි යන අර්ථ බව පපඤ්චසූදනී මජ්ඣිමනිකායට්ඨකථායෙහි දැක්වෙයි. “අභිධම්මොති උත්තමධම්මකථා”4 යි අභිධර්ම යනු උත්තමධර්මකථා යැයි මනොරථපූරණී අංගුත්තරනිකායට්ඨකථායෙහි එයි. එහි මැ අන්යයෙනෙකූ අභිධර්මය ඉතා පැහැදිලි ලෙස විවරණය කෙරෙමින්: “අභිධම්මෙ අභිවිනයෙති එත්ථ ධම්මො, - අභිධම්මො, - විනයො-අභිවිනයොති චතුක්කං වෙදිතබ්බං, තත්ථ ධම්මොති සුත්තපිටකං, අභිධම්මොති සත්තප්පකරණානි, විනයොති උභතො විභඞ්ගො, අභිවිනයොති ඛන්ධකපරිවාරා”5 යි කියූ.
“අභිධම්මෙ අභිවිනයෙ යන මෙහි ධම්-අභිධම්-විනය-අභිවිනය යන චතුෂ්කය දතයුතු යැ. එහි ‘ධම්’ යනු සූත්‍රපිටකය යැ, ‘අභිධම්’ යනු සප්තප්රකරණයෝ යැ, ‘විනය’ යනු භික්ෂු-භික්ෂුණී උභය විභංග යැ, ‘අභිවිනය’ යනු චුල්ලවග්ග - මහාවග්ග - සඛ්‍යාත ඛන්ධක හා පරිවාර හා මේ දෙක යී” යනු එහි අර්ථ යි
ඇදුරෝල්හි ආ සෙයින් අභිධර්ම ශබ්දයෙහි ප්‍රයොජන අර්ථවිවරණය කරන අටුවා ඇදුරු බුදුගොස් තෙරණුවෝ ‘අත්ථසාලිනී’ නම් ධම්මසඞ්ගණී අටුවායෙහි “තත්ථ අභිධම්මො’ති කෙනට්ඨෙන අභිධම්මො? ධම්මාතිරෙක ධම්මවිසෙසට්ඨෙන” යි ධර්මාතිරෙකාර්ථයෙන් හා ධර්මවිශේෂාර්ථයෙන් අභිධර්ම නම් වන සේ නිරුක්ත්යාර්ථ දු දැක්වති.
‘අභිධම්ම’ පදයෙහි ‘අභි’ ශබ්දය “බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති” යන තන්හි සෙයින් අතිරෙකාර්ථ ද “අභික්කන්තවණ්ණා” යන තන්හි සෙයින් විශෙෂාර්ථ ද කියයි. එයින් අතිරෙකධර්ම විශෙෂධර්ම ‘අභිධම්ම’ නම් වෙයි.
ඒ එසේ මැයි: සූත්‍රාන්තයට පැමිණ පඤ්චස්කන්ධය එකදේශයෙකින් විභාග කරනලද යැ. අභිධර්මයෙහි දී සුත්තන්තභාජනීය, අභිධම්මභාජනීය, පඤ්හාපුච්ඡක යන ත්‍රිවිධ නය විසින් නිෂ්ප්රදෙශ කොට (සම්පූර්ණයෙන්) විභාග කරනලද වෙයි. මෙසෙයින් මැ දොළොස් ආයතන, අටළොස් ධාතු, සිවුසස්, සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර සෘද්ධිපාද, සප්ත බොධ්‍යඞ්ග, ආර්ය්යඅෂ්ටාංගිකමාර්ග, සතර ධ්‍යාන, සතර අප්‍රමාණ්‍යය, සිවුපිළිසිඹියා, ඥාන, ක්ලෙශ, භූම්යන්තරපරිච්ඡෙද යන මොහු අභිධර්මයට පැමිණ නිෂ්ප්රදෙශ කොට විභාග කරන ලදහ. හුදෙක් ඉන්ද්රියවිභංග, සික්ඛාපදවිභංග යන මෙහි සුත්තන්තභාජනීය ද ප්‍රත්‍යයාකාරයෙහි පඤ්හාපුච්ඡකය ද නැත. මෙසේ සූත්රාන්තධර්මයෙන් අතිරෙක කොට විශිෂ්ට කොට විභක්ත වන බැවින් ධර්මාතිරෙක ධර්මවිශේෂාර්ථයෙන් අභිධර්ම නම් වෙයි.