6. 9.
1102. (එම්බා දිව්‍යපුත්‍රය) අලවකෘත වූ දිවමලින් බර වූ මනාවස්ත්‍ර ඇති ශෝභන කුණ්ඩලාභරණ ඇති අන්දම් තබනලද කෙස් රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇත්තා වූ (තෝ) දිවවිමන්හි සඳ මෙන් බබළන්නෙහි.
1103. (එහි) දිව්‍ය වීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති, ගයති, ප්‍රමෝද වෙත්.
1104. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1105. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1106. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් මනා පියෙවි ඇති විද්‍යා හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ පිරිවර ඇති බහුශ්‍රුත වූ ශීලව්‍රත සමන්‍වාගත වූ ශ්‍රමණයන් දැක, පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1107. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1108. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
දුතියකුණ්ඩලීවිමාන යි.
6. 10.
1109. (එම්බා දේවපුත්‍රය) යම් තැනෙක දිව්‍යසමූහයා එක්ව හිඳී ද, ඒ සක්දෙව් රජුගේ යම් සුධර්‍මා නම් සභාවක් වෙයි ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1110. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1111. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1112. මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙමි. පායාසි රජුගේ මාණවකයෙක් වීමි. (එකලැ) ධනය ලබා සංවිභාග කෙළෙමි. මට සිල්වත්හු ද ප්‍රියවූහ. (උන්වහන්සේට) පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1113. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1114. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
උත්තරවිමාන යි.
සවන පායාසිවර්‍ග යි.
එහි උද්දානය:
අගාරිය දෙකයැ ඵලදායක යැ උපස්සය දෙක යැ භික්ඛාදායක යැ යවපාලක යැ කුණ්ඩලී දෙක යැ (උත්තර) පායාසි යැ යි මෙසේ පුරුෂවිමාන පිළිබඳ දෙවෙනි වර්‍ගය කියනු ලැබේ.