6. 10.
1109. (එම්බා දේවපුත්රය) යම් තැනෙක දිව්යසමූහයා එක්ව හිඳී ද, ඒ සක්දෙව් රජුගේ යම් සුධර්මා නම් සභාවක් වෙයි ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1110. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1111. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1112. මම මිනිසුන් අතුරෙහි මනුෂ්ය වූයෙමි. පායාසි රජුගේ මාණවකයෙක් වීමි. (එකලැ) ධනය ලබා සංවිභාග කෙළෙමි. මට සිල්වත්හු ද ප්රියවූහ. (උන්වහන්සේට) පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1113. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1114. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
උත්තරවිමාන යි.
සවන පායාසිවර්ග යි.
එහි උද්දානය:
අගාරිය දෙකයැ ඵලදායක යැ උපස්සය දෙක යැ භික්ඛාදායක යැ යවපාලක යැ කුණ්ඩලී දෙක යැ (උත්තර) පායාසි යැ යි මෙසේ පුරුෂවිමාන පිළිබඳ දෙවෙනි වර්ගය කියනු ලැබේ.
7. සුනික්ඛිත්ත වර්ගය
7. 1.
1115. (එම්බා දේවපුත්රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ චිත්රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1116. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1117. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1118. මම (පෙරැ) මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙමි. දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්රියවූහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
1119. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1120. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
චිත්රලතාවිමාන යි.
7. 2.
1121. (එම්බා දේවපුත්රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ නන්දවනය හා චිත්රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1122. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?