6. පායාසි වර්ගය
6. 1.
1049. (එම්බා දිව්යපුත්රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්රේෂ්ඨ වූ චිත්රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටි.
1050. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුර පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1051. මේ පුණ්යඵලය කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්යපුත්ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1052. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1053. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1054. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
අගාරියවිමාන යි.
6. 2.
1055. (එම්බා දිව්යපුත්රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්රේෂ්ඨ වූ චිත්රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1056. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1057. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1058. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1059. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1060. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
දුතිය අගාරියවිමාන යි
6. 3.
1061. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1062. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය. දිව්යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණුවූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්යකන්යාවෝ ද නටති ගයති ප්රමෝද වෙත්.
1063. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1064. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
1065. (වහන්ස) පහන්සිත් ඇති ඍජුමාර්ගයට පැමිණියා වූ ආර්ය්ය පුද්ගලයන් විෂයෙහි පලතුරු දන්දෙන පුද්ගල තෙමේ මහත් පුණ්යඵලය ලබයි. හෙතෙමේ (උත්පත්ති විසින්) දෙව්ලොව ගියේ තව්තිසා භවනෙහි සතුටු වෙයි. එහි දී (මා මෙන්) මහත් පින්පල ද අනුභව කරයි. මහා මුනිවරයෙනි එසේම මම ද ඵල සතරක් දුනිමි.