6. 3.
1061. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1062. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය. දිව්යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණුවූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්යකන්යාවෝ ද නටති ගයති ප්රමෝද වෙත්.
1063. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1064. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
1065. (වහන්ස) පහන්සිත් ඇති ඍජුමාර්ගයට පැමිණියා වූ ආර්ය්ය පුද්ගලයන් විෂයෙහි පලතුරු දන්දෙන පුද්ගල තෙමේ මහත් පුණ්යඵලය ලබයි. හෙතෙමේ (උත්පත්ති විසින්) දෙව්ලොව ගියේ තව්තිසා භවනෙහි සතුටු වෙයි. එහි දී (මා මෙන්) මහත් පින්පල ද අනුභව කරයි. මහා මුනිවරයෙනි එසේම මම ද ඵල සතරක් දුනිමි.
1066. එහෙයින් ම දිවසැපත් පතන්නා වූ හෝ මිනිස් සැපත් කැමැත්තා වූ හෝ සැප කැමැති මිනිසා විසින් නිතර ඵල දානය කරන්නට සුදුසු ම ය.
1067. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1068. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ඵලදායකවිමාන යි
6. 4.
1069. (එම්බා දිව්යපුත්රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ චන්ද්රයා යම්සේ අහසේ බබළමින් යේ ද. එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1070. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1071. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් අත්තේ (මෙසේ) පැවසී ය.
1072. මම ද (මාගේ) බිරිය ද මිනිස් ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. පැහැදුණු සිත් ඇත්තමෝ අහර ද පැන් ද සකසා මහත් දානයක් පිදුම්හ.
1073. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1074. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
පඨම උපස්සයදායකවිමාන යි.