8. 6.
පාටලිගාමිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලිග්‍රාමයට වැඩි සේක. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලියගාමියට වැඩි සේක් වනැ’යි පාටලිගම් වැසි උපාසකයෝ ඇසූහ. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳගත් පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසන සේක්වා’යි කීහ: භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
2. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට ආවාස ගෙය කරා එළැඹියහ. එළැඹ ආවාස ගෙය මුළුල්ල ම ඇතිරි අතුට, අසුන් පනවා, මහ දියසැළක් තබා, තෙල්පහන් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, ආවාස ගෙය මුළුල්ල ම ඇතිරියෙන් ඇතිරිණි. අසුන් පැනැවිණ. දියසැළක් තැබිණ. වහන්ස, යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ කල්දන්නා සේක් නම්, දැන් එයට කල් යැ යි සලකන සේක් වා”යී සැළ කළහ.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙන බික්සඟන හා ආවාස ගෙය කරා වැඩි සේක. වැඩ පා දෙවැ ආවාස ගෙට පිවිසැ, මැදුම් ටැඹට පිටදී පෙරදිගට මුහුණ ලා වැඩ හුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් දිගැ බිත්තියට පිටු දී පැසිම් පෙරදිගට මුහුණ ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොටැ හුන්හ. පාටලිගම් වැසි උපාසකයෝ ද පා දෙවැ ආවාස ගෙට වැද, පෙර දිගැ බිත්තියට පිටු දී පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳ ගත්හ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්ති මේ දොස් පසෙකි. කවර පසෙක් ද? යත්:
ගැහැවියනි, මෙහි දුසිල් තෙම බුන් සංවර ඇතියේ පමා හෙයින් මහත් භෝගපරිහාණියට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පළමු වන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල්හුගේ ලාමක වූ අපකීර්තිශබ්දයෙක් පැන නඟී. මේ දුසිල්හුගේ සිල්විපත්හි දෙවන වන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කැත්පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙද නැත්තේ මකු වූයේ (බිමට හෙළූ මුහුණ ඇත්තේ) එළැඹේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි තෙවන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හුගේ සිල්විපත්හි සිවුවන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට තැන් වූ විවස වැ වැටෙන තැන් වූ නිරයට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පස්වන දොස ය.
ගැහැවියනි, මොහු වනාහි දුසිල්හුගේ සිල්විපත් දොස් පස ය.
5. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සැපත්හි (ශීලසම්පත්තියේ) මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද? යත්:
ගැහැවියනි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්ත වූයේ නො පමා හෙයින් මහත් භොග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පළමු අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්තයාගේ උතුම් යසගොසෙක් පැන නගී. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ දෙවන අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්ත වූ තැනැත්තේ කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙදැත්තේ බිය නැත්තේ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ තෙවන අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ නොමුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ සිවුවන අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ පස්වන අනුසස ය.
ගැහැවියෙනි, මොහු වනාහි සිල්වත්හුගේ ශිලසම්පත්තියේ අනුසස් පස ය.
6. භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයනට රෑ බොහෝ වේලා ධර්‍මකථායෙන් ශීලාදි ප්‍රතිපත් දක්වා එය මොනොවට ගන්වා, එහි උත්සාහවත් කරවා, එහි සතුටු කරවා, ඉක්බිති ‘ගැහැවියනි, රැය ඉක්මිණ. තොපට යන්නට කාලය ය. එබැවින් යන්නැ’යි ඔවුන් යැවූ සේක. එකල්හි පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදර කොට පිළිගෙන අනුමෝවැ හුනස්නෙන් නැගී, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මුණහ.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පාටලි ගම් වැසි උපාසකයන් නික්මුණු නොබෝ වේලායෙහි ශූන්‍යාගාරයට පිවිසි සේක.