පාටලිගාමිය වර්‍ගය
8. 1.
පළමුවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන් පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන්තතු දක්වන සේක. එය ගන්වන සේක. එය ගැන්මෙහි උත්සාහවත් කරන සේක. නිවන්ගුණයෙන් මොනොවට සතුටු කරන සේක. ඒ මහණහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, ඒ දේශනාව සිත්හි කොට මුළු සිතින් සමනා නතු කළ කන් ඇත්තාහු බණ අසති.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මහණෙනි, යමෙක්හි පෘථිවිධාතුව නැද්ද, ආපෝධාතුව නැද්ද, තේජෝධාතුව නැද්ද, වායුධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, අකිඤ්ඤචඤ්ඤායතන සිත නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්‍ධ) ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්‍ධ) ලෝකයකුත් නැද්ද, (එහි අඳුරක් නැති බැවින් අඳුර දුර ලන්නට) සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූ ඒ ආයතනය (මාර්‍ග ඵලසිතට අරමුණුවන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි, ප්‍රත්‍යයයන්ගෙන් නො පවත්නා, කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවර ය.”
8. 2.
දෙවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන් තතු දක්වන සේක. එය ගන්වන සේක. එහි උත්සාහවත් කරන සේක. සතුටු කරන සේක. ඒ මහණහු ද එයින් ප්‍රයෝජන ඇති ව ඒ දෙසුම සිත්හි කොට මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා ) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැක්ක හැකි නො වේ. ප්‍රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදී. අරීමඟනුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”
8. 3.
තෙවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ දැහැමි කතායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්‍රත්‍යය සමවායයෙන්) නො උපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නො කරන ලද, ප්‍රත්‍යයයෙන් අසංස්කෘත වූ නිර්‍වාණ ධර්‍මය (පරමාර්‍ත්‍ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යයයෙන් නො උපන්, නො පහළ වූ නො කරන ලද, අසංස්කෘත වූ නිර්‍වාණධාතුව (පරමාර්‍ත්‍ථවශයෙන්) අවිද්‍යමාන නම්, මෙහි හේතුප්‍රත්‍යයයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබියැ හැකි වන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නො උපන්, නො පහළ වූ, නො කරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්‍ත්‍ථ වශයෙන් ඇත් ද, එහෙයින් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”
8. 4.
සිවුවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිර්‍වාණප්‍රතිසංයුක්ත ධර්‍ම කථායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා), නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක: