8. 7.
ද්විධාපථ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහු පසු මහණ කොට ගෙන කොසොල් රටැ දික් මඟට පිළිපන් සේක් වෙති. නාගසමාල තෙරණුවෝ අතරමඟැ දෙමං සන්‍ධියක් දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. දෙවෙනි වර ද තෙවන වර ද නාගසමාල තෙර ‘භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ නාගසමාලය, තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. එ කල්හි නාගසමාල තෙර තෙල භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු බිමැ තබා නික්ම ගියේ ය.
2. ඉක්බිති එ මඟින් යන නාගසමාල තෙරහට මග අතුරෙහි සොරු නික්මැ අතින් පයින් තැළූහ. පාත්‍රය ද බින්දහ. සඟල සිවුර ද ඉරා දැමූහ. එ කල්හි නාගසමාල තෙර බිඳුණු පාත්‍රයෙන් ඉරී ගිය සඟළ සිවුරින් යුතු ව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ගත් නාගසමාල තෙර භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මෙහි ඒ මඟින් මා යද්දී මඟ අතුරැ සොරු නික්මැ අතින් පයින් මට පහළහ, පාත්‍රය ද බින්දහ. සඟළ සිවුර ද ඉරා දැමූහ’යි සැළ කෙළේ ය.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මාර්‍ගඥානයෙන් සත්‍යාවබෝධය කළ නුවණැත්තේ අඥ ජනයා හා එක් වැ හැසිරෙන්නේ එක් වැ වසන්නේ එ පමණෙකින් මිශ්‍ර වූයේ නුමුදු අභද්‍ර වූ ලාමක දැය දුරැ ලයි. (දියමුසු කිරි එළැවූ කල) කිරි පමණක් බොන කොස්ලිහිණියා දිය හැර ලන්නාක් මෙනි.”
8. 8.
විශාඛා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාම විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මිගාරමාතු නම් වූ විශාඛාවගේ ප්‍රිය මනාප වූ මිනිබිරියක් කලුරිය කළා වෙයි. එ කල්හි මිගාරමාතු නම් වූ විශාඛා තොමෝ තෙත් වස්ත්‍ර ඇත්තී තෙත් හිසකේ ඇත්තී දෙවෙන්දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හුනු. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක් හුන්නා වූ ම මෘගාරාමාතා විශාඛාව බණවා, “විශාඛාවෙනි, දැන් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ තෙපි කොයින් එවු ද? කොහි සිට මේ මධ්‍යාහ්නයෙහි මෙහි එළැඹුණුව?”යි වදාළ සේක.
“වහන්ස, මා ප්‍රිය මනාප මිනිබිරියක් කලුරිය කළා ය. එහෙයින් මම් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ මද්දහන්හි මෙහි එළැඹියෙමි”යි ඕ කිවු ය.
“විශාඛාවෙනි, සැවැත් නුවරැ යම් පමණ මිනිස්සු ඇත් නම් එ පමණ ම දූ පුතුන් ද මුනුබුරු මිනිබිරියන් ද කැමැත්තහු දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, යම් පමණ මිනිස්සු සැවැත්නුවරෙහි ඇත් නම් එපමණ ම දූපුතුනුත් මුනුබුරු මිනිබිරියනුත් කැමැත්තෙමි”යි (ඕ කිවු ය).
2. “විශාඛාවනි, දිනපතා කොපමණ මිනිස්සු සැවැත්නුවරෙහි කලුරිය කෙරෙත් ද?”
“වහන්ස, දිනපතා සැවැත් නුවරැ දශ දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සැවැත්නුවරැ නව දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා අට දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සත් දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සදෙනෙකුත් ... පස් දෙනෙකුත් … සිවුදෙනෙකුත් … තිදෙනෙකුත් … දෙදෙනෙකුත් කලුරිය කෙරෙත්. දිනපතා සැවැත් නුවරැ එකමිනිසෙකුත් කලුරිය කෙරෙයි. වහන්ස, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර නොසිස් යැ”යි (ඕ කිවු යැ.)
“විශාඛාවනි, ඒ කිමැ යි සිතවු ද? (එසේ කලැ) තෙපි කිසි විටෙකත් නොතෙත් වස්ත්‍ර ඇති වනු නොතෙත් කෙහෙ ඇති වනු හැක්කහු දැ?”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
3. “වහන්ස, මෙය නො වන්නෙකි. වහන්ස, මට එතරම් බොහෝ දූපුතුන්ගෙන් මුනුබුරු මිනිබිරියන්ගෙන් කම් නැතැ”යි ද (ඕ කිවු ය.)
“විශාඛාවනි, යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු සියෙක් වේ නම් ඔවුනට සියෙක් දුක් වේ. යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු අනූවක් වේ නම් ඔවුනට අනුවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අසූවෙක් වේ නම් ඔවුනට අසූවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැත්තෑවෙක් නම්, ඔවුනට සැත්තෑවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැටෙක් වේ නම්, ඔවුනට සැටෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු පනසෙක් වේ නම් ඔවුනට දුක් පනසෙක් වේ.