8. 5.
චුන්‍ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරා වඩනා සේක්, පාවා නුවරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාගේ අඹවනයෙහි වැඩ වසන සේක.
2. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් හා මල්ල රටැ සැරි සරන සේක්, පාවා නුවරට වැඩි සේක්, පාවානුවර සමීපයේ වූ මාගේ අඹවෙනෙහි වැඩ වසන සේක් ලු”යි චුන්‍ද කාර්‍මාරපුත්‍ර ඇසී ය. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චුන්‍දකාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කුසල් දහම් දැක් වූ සේක, එය මොනොවට ගැන්වූ සේක, එහි උත්සාහවත් කළ සේක, එහි තුටුපහටු කළ සේක.
3. එ කල්හි චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කුසල් දහම් දක්වන ලද්දේ, මොනොවට ගන්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, තුටුපහටු කරන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා හා සෙට මාගේ බත ඉවසන සේක් වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදකුණු කොට, නික්මැ ගියේ ය.
4. ඉක්බිත්තෙන් චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්‍දව ද පිළියෙල කරවා “වහන්ස, කාලය පැමිණියේ ය. බත පිළියෙල කොට නිමියේ යැ”යි කල් දන්වා යැවී ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන, බික්සඟන හා චුන්‍දකාර්‍මාර පුත්‍රයාගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කාර්‍මාරපුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක් තොප විසින් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව. යම් අන් ඛාද්‍ය භොජ්‍යයෙක් පිළියෙල කරන ලද ද එයින් බික්සඟන වළඳවව”යි වදාළ සේක.
5. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකරමාර්‍දවයෙක් වී නම් එයින් භාග්‍යවතුන් වහන්සේ වැළැඳැවීය. යම් අන් ඛාද්‍යභෝජ්‍යයෙක් පිළියෙල කරන ලද නම් එයින් බික්සඟන වැළැඳැවීය.
6. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චුන්‍දකාර්‍මාර පුත්‍ර බණවා “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක් ඉතිරි ව ඇද්ද, එය වළැ ලවු. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජායෙහි, යමකු විසින් එය වළඳන ලද්දේ මොනොවට දිරීමට යන්නේ නම්, එ වැන්නතු තථාගතයන් හැර මම් නො දකිමි”යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, යම් ඉතිරි සූකරමාර්‍දවයෙක් වී එය වළැ ලා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නාවූ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කටයුතු නොකටයුතු දක්වා, කටයුතු දැය මොනොවට සිතට ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැඟි වැඩිසේක.
7. ඉක්බිත්තෙන් චුන්‍ද කාර්‍මාරපුත්‍රයාගේ බත වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට, (එයින් තුන් මසකට පෙර බේළුව ගමෙහි දී උපන් ආබාධය මේ තාක් ම දින පතා සමවත් සමවදිමින් මැඩ පවත්වා යට පත් කරන ලද නුමුත් සිය සිරුරෙන් ම සත්ත්‍වයනට සංවේගය උපදවන අදහසින් චුන්‍දයාගේ දානයෙන් පසු එය මතු වන්නට ඉඩ දී සමවත් නො සමවන් බැවින්) ක්‍රෑර වූ ලෝහිතපක්ඛන්‍දිකා ආබාධය උපන. මරණය ළං කරන තරම් වූ දැඩි දුක් වේදනාවෝ ඇත. එහි දී භාග්‍යවතුන් වහන්සේ එළැඹ සිටි සිහි ඇති සේක්, නුවණින් පිරිසිඳ දන්නාහු, එයින් නො පෙළෙන්නාහු, එය ඉවැසූ සේක.
8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, ‘අනඳ යෙනි, එව, යමු. කුසිනාරාව කරා එළැඹෙන්නෙමු’යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
“චුන්‍ද කාර්‍මාරයාගේ බත වළඳා ඉක්බිති ධීර වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා දැඩි වූ මරණය ළං කරන තරම් වූ ආබාධයක් ස්පර්‍ශ කළ සේක.
සූකරමාර්‍දවය හා (බොජුන්) වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දැඩි ව්‍යාධියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ එක්වන් පැවැති ලෝහිතවිරේචනය ඇති සේක්, ‘මම් කුසිනාරා නුවරට යමි’යි වදාළ සේක.”