8. 10.
දෙවන දබ්බ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූනට අඬ ගා වදාළ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ, තෙදකිසුණු සමවත සමවැද, එයින් නැඟී පිරිනිවි මල්ලපුත්ර දබ්බයන්ගේ ගිනි ගෙන දැවෙන සිරුරේ අළු නො ම පැනිණ. දැලි හෝ නො ම පැනිණ. මහණෙනි, ගිනි ඇවිළැ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නොම පැනේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අහස් නැඟ, අහසෙහි පලඟින් හිඳ තෙදකිසුණු සමවත සමවැද එයින් නැඟී පිරිනිවි මල්ලපුත්ර දබ්බයන්ගේ ගිනි ඇවිළ ගෙන දැවෙන සිරුරැ අළු නො ම පැනිණ, දැලි හෝ නො ද පැනිණ” යනුයි.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යකුළෙන් පහළ කලැ නැඟි දිලියෙන පිළිවෙළින් නිවුණු ගින්න ගිය තැනෙක් යම්සේ නො පැනේ ද,
එසේම කාමප්රබන්ධය ද (හෙවත් කාමෝඝය ද) සෙසු ඕඝ ද තරණය කළ, නොසැලෙන නිවන් සුව පැමිණි රහතුන්ගේ (දෙව්මිනිස් ඈ ගති අතුරෙන් මෙ නම් ගතියකට පැමිණේ යැ යි) පනවන්නට ගතියෙක් නැත”
අටවන පාටලිගාමිය වර්ගයයි.
එහි උද්දානය:
නිර්වාණ සූත්ර සතරෙක් ද චුන්ද පාටලිගාමිය ද්විධාපථ විශාඛා යන සූත්ර ද දබ්බ සූත්ර දෙක ද සහ සියලු ඒ දශ සූත්ර කෙනෙක් කියන ලදහ.
මේ පළමු වන වර්ගය උතුම් වූ බෝධිවර්ගය ය. දෙවැන්න මුචලින්ද වර්ගය ය. තෙවැන්න වනාහි උතුම් නන්දක වර්ගය ය. සතරවැන්න උතුම් මේඝිය වර්ගය ය.
මෙහි පස්වන උතුම් සෝණ වර්ගය ය. සවන උතුම් ජච්චන්ධ වර්ගය ය. සත්වැන්න උතුම් චුල්ල වර්ගය ය. අටවැන්න උතුම් පාටලිගාමිය වර්ගය ය. (මෙසේ වර්ග අටෙක.)
නො අඩු වූ අසූවක් උතුම් සූත්ර ඇති උතුම් වර්ග අටෙක් මෙහි මොනොවට බෙදන ලද්දේ ය. ඒකාන්තයෙන් ඒ මෙය උදාන නමැ යි කීහු.
උදානපාළිය නිමි.