6. 2.
ජටිල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර මෘගාරිමාතෘප්රසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ සවස්වේලෙහි චිත්තවිවේකයෙන් නැගී සිටි සේක්, ප්රාසාදද්වාරකෝෂ්ඨයෙන් පිටත්හි වැඩ හුන් සේක් වෙති.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙක හුන්නේ ය. එ සමයෙහි සත් දෙනෙක් ජටිලයෝ ද, සත් දෙනෙක් නිවටහු ද, සත් දෙනෙක් අචෙලකයෝ ද, සත් දෙනෙක් ඒකසාටක නිවටහු ද, සත් දෙනෙක් පිරිවැජියෝ ද වැඩුණු කිසිලිලොම් ද නියපොතු ද ඇත්තාහු නන් වැදෑරුම් පැවිදි පිරිකර බඩු රැගෙන භාග්යවතුන් වහන්සේට නොදුරෙහි (නුවර දෙසට) ඉක්මැ යෙත්.
2. පසේනදි කොසොල් රජ වැඩුණු කිසිලිලොම් හා නියපොතු ද ඇති ඒ සත් ජටිලයන් ද, සත් නිවටුන් ද, සත් අචේලකයන් ද, සත් එකසාටකයන්ද, සත් පිරිවැජියන් ද පිරිකර බර ගෙන භාග්යවතුන් වහන්සේට නොදුරෙහි මඟින් ඉක්මැ යන්නවුන් දිටී ය. දැක හුනස්නෙන් නැඟී සිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල බිමැ හැන, ඒ සත් ජටිලයන් ද, සත් නිවටුන් ද, සත් අචේලකයන් ද, සත් එකසාටකයන්ද, සත් පිරිවැජියන් ද දසාවට ඇඳිලි නමා ‘වහන්ස, මම් පසේනදි කොසොල්මි’යි තුන් වරක් සිය නම ඇස්වී ය.
3. ඉක්බිත්තෙන් පසේනදි කොසොල් රජ ඒ සත් ජටිලයන් … ඉක්ම ගිය කල්හි භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නා වූ ම පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට “වහන්ස, ලොවැ යම් රහත් කෙනෙක් හෝ රහත් මඟට පැමිණි හෝ යම් කෙනෙක් වෙත් නම්, මොහු ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් වෙති”යි කී ය.
“මහරජාණෙනි, අඹුදරුවන් නිසා හටගත් සම්බාධ ඇති යහනක් ඇති වැ වසන, කසිවත් හා සියුම් සඳුන් පරිභෝග කරන, මල්ගඳ විලෙවුන් දරන රන් රිදී ඉවසන කාමභෝගී ගිහි වූ තොප විසින් ‘මොහු රහත්හු ද නොහොත් රහත්මඟට පිළිපන්නෝ දැ?”යි යන මෙය නො දත හැකි ය. මහරජාණනි, එක් වැ විසීමෙන් වනාහි ශීලය දත යුතු. එ ද දික් කලෙකිනි. මඳ කලෙකින් නො වේ. එ ද කටහැක්කේ සිල් පිරිසිඳින්නෙමියි මෙනෙහි කරන්නහු විසිනි. මෙනෙහි නොකරන්නහු විසින් නො වේ. ප්රඥා ඇත්තහු විසිනි, ප්රඥා නැත්තහු විසින් නො වේ. මහරජාණෙනි, කථායෙන් පිරිසුදු බව දත යුතු. එ ද දික් කලෙකිනි. මද කලෙකින් නො වේ ... ප්රඥා නැත්තහු විසින් නො වේ. මහරජාණෙනි, විපත්හිදි ඥානස්ථාමය දත යුතු. එ ද දික් කලෙකිනි. ... ප්රඥාව නැත්තහු විසින් නො වේ” යැ යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
4. “වහන්ස, ආශ්චර්ය්ය ය! වහන්ස, අද්භූත ය! ... රහත්මගට පිළිපන්නෝ දැ?”යි මෙය දත නො හැක්කේ ය. ... එක් වැ විසීමෙන් ... ප්රඥා නැත්තහු විසින් නො වේ”යැ යි භාග්යවතුන් වහන්සේ වදාළ මේ වචනය ඉතා මැනැවින් වදාරන ලද්දේය. වහන්ස, මොහු පැවිදි වෙසින් සිට රට වැසියන්ගේ පිණ්ඩභෝජනය වළඳන මාගේ චරපුරුෂයෝ ය. මොහු දනව්වල තතු විමසා බලා එති. පළමුවෙන් මොවුන් බැස්ස ඒ පෙදෙසට ඔවුනට පසු ව මම බස්නෙමි. වහන්ස, ඔහු දැන් දූවිලි මල සෝදා හැර මොනොවට නෑවාහු මොනොවට විලෙවුන් දැරුවාහු කැපූ කෙහෙරවුළු ඇත්තාහු, සුදුවන් හඳින්නාහු පස් කම්ගුණ හා ඇලුණෝ එක් වූවෝ ඉඳුරන් කාමවස්තුන්හි හසුරුවත්”යැ යි පසේනදී කොසොල් රජ කී ය.
5. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ.
“මහණ තෙම (දූතමෙහෙවර චරපුරුෂ මෙහෙවර ආදි වූ) සියලු ලාමකකම්හි වෑයම් නො කරන්නේ ය. අනෙකුගේ සේවකයෙක් නො වන්නේ ය. අන් අධිපති ආදි කෙනෙකුන් ඇසුරු කොට ජීවත් නො වන්නේ ය. ධර්මයෙන් වෙළෙඳාම් නො කරන්නේ ය. (ධන ආදිය පිණිස බණ නො කියන්නේ ය.)