ජාත්යන්ධ වර්ගය
6. 1.
ආයුසංඛාරවොස්සජන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසල්පුරැ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුරැ පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්. අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, හිඳිනා ඇතිරිය ගනුව. දිවාවිහරණය පිණිස චාපාල චෛත්යය වෙත යන්නමු’යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි කියා ම අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී, හිඳිනා ඇතිරිය ගෙන, භාග්යවතුන් වහන්සේ පසුපසින් වැඩියහ. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ චාපාලචෛත්යය කරා එළැඹි සේක. එළැඹ, පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩ හිඳ ම, ‘අනඳයෙනි, විසල්පුරය සිත්කලු ය, උදායන චෛත්යය සිත්කලු ය, ගෞතමක චෛත්යය සිත්කලු ය, සප්තාමු චෛත්යය සිත්කලු ය, බහුපුත්ර චෛත්යය සිත්කලු ය, සාරන්දද චෛත්යය සිත්කලු ය, චාපාලචෛත්යය සිත්කලු ය. ආනන්දය, යම් කිසිවකු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු නම්, බහුල වශයෙන් කරන ලද්දාහු නම්, යුක්තයානයක් මෙන් කරන ලද්දාහු නම්, පිහිටන තැනක් මෙන් කරන ලද්දාහු නම්, සිද්ධ කරන ලද්දාහු නම්, පුරුදු කරන ලද්දාහු නම්, මොනොවට නිපදවන ලද්දාහු නම්, හෙ තෙම කැමැත්තේ නම්, හෙ තෙම ආයුෂ්කල්පයක් (ඒ කාලයෙහි මිනිසුන්ගේ සම්පූර්ණ ආයුෂප්රමාණ කාලයක්) හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තු කෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, තථාගතයෝ කැමැත්තෝ නම්, ආයුෂ්කල්පයක් හෝ එයට වැඩි කලක් සිටිය හැක්කාහුයැ”යි වදාළ සේක. මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් දැඩිවූ සංඥා ඉපැදවීම කරනු ලබනු කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි, ආනන්ද තෙරණුවෝ එය දැනැ ගන්නට නොහැකි වූහ. මරහු විසින් මඩනාලද සිතැත්තක්හු සේ, වහන්ස, භාග්යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා සඳහා, දෙව් මිනිස්නට යහපත පිණිස, හිත පිණිස, සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩියක් කල් වැඩ සිටින සේක්වා’යි භාග්යවතුන් වහන්සේ නො යැද්දහ.
දෙවෙනි වරද භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හැක්කාහ”යි වදාළ සේක. තෙවෙනි වරැ ද භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හෙන්නාහ”යි වදාළ සේක. මෙසේත් අනඳ තෙරණුවෝ ... මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සේ ... නො යැදූහ.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම් දිවාවිහරණයකට කලැ යි සිතවු ද එයට යවු’යැ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියාම අනඳ තෙරණුවෝ, භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිට භාග්යවතුන් වහන්සේ සකසා වැඳ, පැදැකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හිඳ ගත්හ.
3. එකල්හි පවිටු මර අනඳ තෙරුන් නික්මැ වැඩි නොබෝ වේලායෙහි භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියා වූ ම පවිටු මර භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “වහන්ස, භගවත්හු පිරිනිවෙත්වා, සුගතයෝ පිරිනිවෙත්වා දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, “යම් තාක් කල් මේ සවු මහණහු ව්යක්ත ද විනීත ද විශාර ද බවට පැමිණියෝ ද යෝගක්ෂේම ද බහුශ්රුත ද ධර්මධර ද ධර්මානුධර්මප්රතිපන්න ද සම්යක්ප්රතිපන්න ද අනුරූපධර්මයෙහි හැසිරෙන සුලු ද වූවෝ සිය ආචාර්ය්යවාදය ඉගෙන උගන්වන්නාහු ද, කියවන්නාහු ද,, පවසන්නාහු ද, පිහිටුවන්නාහු ද, හෙළි කරන්නාහු ද, බෙදා දක්වන්නාහු ද, ප්රකට කරන්නාහු ද, උපන් පරප්රවාදය කරුණු සහිතව මොනොවට නිගහා නෛර්ය්යාණික කොට දහම් දෙසන්නාහු ද එතෙක් නො ම පිරිනිවෙන්නෙමි”යි මේ වචනය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.
වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වූ භික්ෂූහු ව්යක්තයෝ විනීතයෝ විශාරදයෝ යෝගක්ෂේමයෝ ... බහුශ්රැතයෝ ධර්මධරයෝ ධර්මානුධර්මප්රතිපන්නයෝ සම්යක්ප්රතිපන්නයෝ අනුධර්මචාරීහු ඇත: ඔහු සිය ආචාර්ය්යවාදය ඉගෙන උගන්වත්, කියවත්. දෙසත්, පිහිටුවත්, හෙළි කෙරෙත්, බෙදා දක්වත්, ප්රකට කෙරෙත්, උපන් පරප්රවාදය කරුණු සහිතව මොනොවට නිගහා නෛර්ය්යාණික වන තෙක් කොට දහම් දෙසත්. වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත්වා. සුගතයෝ පිරිනිවෙත්වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය.
4. වහන්ස, ‘යම් තාක් කල් මාගේ ශ්රාවක මෙහෙණහු ව්යක්ත ද ... අනුධර්මචාරීණීහු නොවන්නාහු ද නෛර්ය්යාණික කොට දහම් දෙසන්නාහු ද ඒතාක් නොපිරිනිවෙන්නෙමැ යි මේ වචනය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්යවතුන්ගේ ව්යක්ත වූ මෙහෙණහු දැන් ඇත. ඔහු නෛර්ය්යාණික කොට දහම් දෙසන්නාහ. වහන්ස, භගවත්හු පිරිනිවෙත් වා ... භාග්යවතුන් විසින් ‘යම්තාක් කල් මාගේ ශ්රාවක වූ උපාසකයෝ ව්යක්තත් ... නොවන්නාහු ද ... නෛර්ය්යාණික කොට දහම් දෙසනු හැකි නො වන්නාහු ද, පවිට ඒ තාක් කල් නො පිරිනිවෙන්නෙමි යි මෙ වචනය කියන ලද්දේ ය. වහන්ස, … පිරිනිවෙත්වා ... වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වූ උපසාකයෝ ව්යක්ත ද … වෙත්. නෛර්ය්යාණික කොට දහම් දෙසත් ... පිරිනිවෙත් වා ...
5. භගවතුන් විසින් යම්තාක් කල් මාගේ ශ්රාවිකා වූ උපාසිකාවෝ ව්යක්ත ද ... නොවන්නාහු ද ... අනුධර්මචාරීණීහු නොවන්නාහු ද ... ධර්මය නෛර්ය්යාණික කොට නො දෙසන්නාහු ද ඒතාක් නොපිරිනිවෙන්නෙමි’යි මේ වචනය වදාරන ලද්දේ ය. වහන්ස, දැන් භාග්යවතුන්ගේ සවු වූ උපාසිකාවෝ ව්යක්ත ද ... අනුධර්මචාරිණීහු ද වෙත් ... නෛර්ය්යාණික කොට දහම් දෙසන්නාහ. භගවත්හු දැන් පිරිනිවෙත්වා ...