6. 3.
ප්රත්යවේක්ෂණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර නොදුරු නොළං තන්හි වූ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ තමන්ගේ ප්රහීණ වූ නොයෙක් ලාමක අකුසල් දහම් ද, භාවනායෙන් පිරිපුන් බවට පැමිණි නොයෙක් කුසල් දහම් ද නුවණින් සලකා බලමින් වැඩ හුන්නාහු වෙති.
2. එ කල්හි භාග්යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ.
(රහත්මඟ නුවණ ලබන්නට) පෙරැ (රාගාදි කෙලෙස් මා සතන්හි) විය. (ආර්ය්යමාර්ගක්ෂණයෙහි) ඒ නො වී ය. (දැන් භාවනායෙන් පිරිපුන් බවට පැමිණි අප්රමාණ කුශලධර්ම අග්රමාර්ගක්ෂණයට පූර්ව වූ) ඒ පුහුදුන් සමයෙහි නො වීය. (අග්රමාර්ගඥානය උපන්) එදා මේ සියලු අනවද්යධර්ම පහළ විය. (යම් ආර්ය්යමාර්ගයෙක් මට බෝමැඩදී පහළ වී ද, මාර්ගක්ෂණයෙන් පෙරැ) එය මට නො වී ය. මතුත් නො වන්නේ ය. සියලු කෙලෙස් නසා අවසන් බැවින් නසන ආර්ය්යමාර්ගයෙක් දැනුත් මට නැත.
6. 4.
ප්රථමනානාතීර්ත්ථක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි නානාවිධ දෘෂ්ටි ඇති නානාවිධ මත උසුලන, නානාවිධ රුචි ඇති, නානා දෘෂ්ටිනිඃශ්රයයෙහි ඇලුණු බොහෝ නන්තොටු මහණ බමුණු පිරිවැජියෝ සැවැත් නුවරැ වෙසෙත්.
(ඔවුන් අතුරෙහි) ‘ලොව ශාශ්වත ය, මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (1)
‘ලොව අශාශ්වත ය, මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (2)
‘ලොව අන්තවත් ය, මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (3)
‘ලොව අනන්තය, මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (4)
“ජීවයක් ශරීරයත් දෙකම එකෙක් ය, මෙය සත්ය ය, සෙස්ස හිස් යැ”යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (5)
“ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (6)
‘ආත්මය මරණින් මතු ඇත. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (7)
‘ආත්මය මරණින් මතු නැත. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (8)
‘ආත්මය මරණින් මතු ඇත්තේත් නැත්තේත් වේ. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (9)
‘ආත්මය මරණින් මතු නො මැත්තේත් නොම නැත්තේත් වේ. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (10)
ඔහු ධර්මය මෙබඳුය, එබඳු නො වේ ය. ධර්මය එබඳු නො වේ. මෙබඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ උනුන් මුඛ නැමැති අඩයටිවලින් විදුනාහු වෙසෙත්.
2. එ කල්හි බොහෝ භික්ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරව, පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි නානාවිධ දෘෂ්ටි ඇති නානාවිධ මත උසුලන, නානාවිධ රුචි ඇති, නානාදෘෂ්ටිනිඃශ්රයයෙහි ඇලුණු බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ සැවැත් නුවරැ වෙසෙත්. (ඔවුන් අතුරෙහි) ‘ලොව ශාශ්වතය ... ඔහු ‘ධර්මය මෙ බඳු නොවේ, ධර්මය එබඳු යැ’ යි ... මුඛ නැමැති අඩයටිවලින් විදුනාහු වෙසෙත්” යනු යි.
(එය අසා භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
3. “මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ අන්ධයෝ ය, පැණැස නැත්තෝ ය. වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නාහු, අවැඩ නොදන්නාහු, දහම නොදන්නාහු, නොදහම නොදන්නාහු, ‘දහම මෙ බඳුය ය, දහම එ බඳුය නො වේ. දහම එ බඳුය නො වේ, දහම මෙ බඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ, උනුන් මුඛ අඩයටිවලින් විදුනාහු වෙසෙත්.
4. “මහණෙනි, පෙර වූවක් කියම්. මේ සැවැත් නුවරෙහි ම එක්තරා රජෙක් විය. එකල්හි ඒ රජ, එක් පුරුෂයකු බණවා, ‘එම්බා පුරුෂය, තෝ මෙහි එව. සැවැතෙහි යම් පමණ දෑ අඳහු වෙත් නම්, උන් හැම එකට රැස් කරව’යි ඇණවී ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’යි කියා ම, ඒ පුරුෂ තෙම, එ රජුට පිළිවදන් දී, සැවැතෙහි යම් පමණ දෑ අඳහු වූහු නම් උන් හැම ගෙන ඒ රජු කරා එළැඹියේ ය. එළැඹ, එ රජුට ‘දේවයිනි, සැවැතෙහි ඇති තාක් හැම දෑ අඳහු ම රැස් කරන ලද්දාහ’යි සැළ කෙළේ ය. ‘එසේ වී නම්, සගය, දෑ අඳනට ඇතකු දක්වව’යි රජ කී ය. ඒ පුරුෂ තෙම, එසේය දේවයිනි’යි කියා ඒ රජුට පිළිවදන් දී දෑ අඳනට ‘දෑ අඳනි, ඇතා මෙ බඳු’යි කියා ඇතු දැක්වී ය: