7. 1. 5.
487. (මම) හීතණ අතින් බිඳගෙන පන්සලක් කොටගෙන වාස කෙළෙමි. එයින් මට ‘සරභඞ්ග’ යයි නමෙක් සම්මුතියෙන් විය.
488. අද මට හීතණ අතින් බිඳිනට නො කැප වෙයි. යසස්වී වූ ගොයුම්ගොතුවන් විසින් අපට සිඛපද පනවනලදි.
489. සරභඞ්ග වූ මම (ශාස්තෲන් වහන්සේගේ අවවාදලාභයට) පෙර සියලු (උපාදානස්කන්ධ සඞ්ඛ්යාත) රෝගය නිරවශේෂ කොට නුදුටිමි. දේවාතිදේව බුදුන්ගේ වචනය කරන මා විසින් ඒ රෝගය දක්නාලද්දේ යැ.
490. යම් මැ මඟෙකින් විපස්සී බුදුහු වැඩිසේක් නම් යම් මැ මඟෙකින් සිඛී බුදුහු ද වෙස්සභූ බුදුහු ද කකුසඳ බුදුහු ද කෝණාගමන බුදුහු ද කාශ්යප බුදුහු ද වැඩි සේක් නම් එමඟින් ගෞතම බුදුහු වැඩිසේක.
491. දුරු කළ තෘෂ්ණා ඇති උපාදාන රහිත වූ නිවනෙහි පිහිටි (විපස්සී ආදී) සත් බුදු කෙනෙකි. (නවලොවුතුරු) දහමින් උපන් තාදීගුණ ඇති උන් වහන්සේ විසින් මෙ දහම දෙසනලදි:
492. (උපාදානස්කන්ධපඤ්චක සඞ්ඛ්යාත) දුඃඛ යැ (දුකට කරුණු වූ තෘෂ්ණා සඞ්ඛ්යාත) සමුදය යැ දුඃඛනිරෝධයට උපාය වූ ආර්ය්යමාර්ග යැ (අධිගත) යම් නිරොධයෙක්හි සසරැ අනන්ත වූ දුක නවතී ද ඒ දුඃඛක්ෂ ය වූ නිරෝධ යැ යන සතර ආර්ය්යසත්යයෝ සත්ත්වයනට අනුකම්පා පිණිස දෙසනලදහ.
493. මේ (පඤ්චස්කන්ධ) කායයාගේ භේදයෙනුදු ජීවිතේන්ද්රියයාගේ ක්ෂය වීමෙනුදු මතු අන්ය පුනර්භවයෙක් නැත. හැම තැන්හි (කෙලෙසුන්ගෙන් ද භවයෙන් ද, මොනොවට මිදුණෙමි’යි.
මෙසෙයින් ආයුෂ්මත් සරභඞ්ග ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සරභඞ්ග ස්ථවිරගාථා යි.
උද්දානය:
සුන්දරසමුද්ද ස්ථවිර යැ, ලකුණ්ටකභද්දිය ස්ථවිර යැ, භද්ද ස්ථවිර යැ , සෝපාක ස්ථවිර යැ , මහර්ෂි සරභඞ්ග ස්ථවිර යැ සත්තකනිපාතයෙහි තෙරහු පස් දෙනෙකි. ගාථා පන්තිසෙකි.
සත්තක නිපාතය නිමි.