7. 1. 2.
466. භද්දිය තෙම ශ්‍රේෂ්ඨ වූ අම්බාටක අරම්හි වනලැහැබෙහි අවිද්‍යාව සහිත තෘෂ්ණාව උපුරා සුන්‍දර වූයේ එහි ධ්‍යාන කෙරෙයි.
467. ඇතැම් කෙනෙක් මිහිඟුබෙරයෙන් වීණායෙන් පණාබෙරයෙන් රමණය කෙරෙති. මම වූකලි බුදුසසුන්හි ඇලුණෙම් රුක්මුල්හි සිත් අලවා වෙසෙමි.
468. ඉදින් බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනසේක් නම් ඒ වරයත් (මනදොළ සෙයින්) මා විසින් ලබනලද්දේ වී නම් මම මුළුලොවට නිති කායගතාසති භාවනාව ගනිමි.
469. යම් කෙනෙක් (ලකුණ්ටක) රූප හේතුයෙන් මට අවමන් කළාහු ද යම් කෙනෙකුත් මධුරස්වර හේතුයෙන් අනුගත වූවාහු (බුහුමන් කළාහු) ද ඡන්‍දරාග වශයට පමණි ඒ (ද්විවිධ) ජනයෝ මා නො දනිති.
470. ඇතුළතත් නො දනියි, පිටතත් නො දකියි. බාල තෙම හාත්පසින් ආවරණ ඇතියේ යැ. හේ එකත්නෙන් ඝෝෂයෙන් අදනාලැබේ.
471. යමෙක් ඇතුළත නො දනී ද එතෙකුදුවත් පිටත (ශ්‍රැතියෙන් හෝ ආකල්ප සැලැකීමෙන්) දකී ද පිටත ඵල පමණක් දක්නා හෙ ද ඝෝෂයෙන් අදනාලැබේ.
472. යමෙක් ඇතුළතත් (අශෛක්‍ෂශීලාදිගුණ) දනී ද පිටතත් (ආකල්පසම්පත්තිආදිය) දකී ද ආවරණ රහිත වැ දක්නා ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම ඝෝෂයෙන් නො අදනාලැබේ යයි.
මෙසේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
ලකුණ්ටකභද්දිය ස්ථවිරගාථා යි.
7. 1. 3.
473. මම බොහෝ ව්‍රතචර්‍ය්‍යාවන්ගෙන් ද ආයාචනාවන්ගෙන් ද ලබනලද මවුහට ප්‍රිය වූ පියාහට ප්‍රිය වූ එක් මැ පුත්‍රයා වීමි.
474. ඒ මවුත් පියාත් දෙදෙනා මට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු අනුකම්පා පිණිස මා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණවූහ.
475. “ස්වාමීනි, මේ පුත්‍ර තෙම දුකසේ ලබනලද්දේ යැ, සියුමැලි යැ, සුවසේ වඩනලද්දේ යැ, මොහු අතැවැසි කොට ජින වූ නුඹ වහන්සේට දෙම්හ”යි.
476. ශාස්තෲන් වහන්සේත් මා පිළිගෙන අනඳ තෙරණුවන්ට තෙල කරුණ වදාළහ: “මොහු වහා පැවිදි කරව, මෙ දරු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වන්නේ යැ” යි.
477. ශාස්තෲන් වහන්සේ මා පැවිදි කරවා විහාරයට වැඩ වදාළහ. හිරු අස්තයට නො යන තෙක් මැ ඒ විදර්‍ශනාරම්භයෙන් නො බෝ වෙලායෙහි මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය.
478. එක්බිති ශාස්තෲන් වහන්සේ සමවන් ඵලසමවත් හැරපියා පිළිසලනින් නැඟීසිටි සේක් ‘ඒව භද්‍රයෙනි’යි මට වදාළහ. ඒ මාගේ උපසම්පදා වී.
479. උපතින් සත්හැවිරිදි වූ මා විසින් උපසම්පත් ලබනලද යැ, ත්‍රිවිද්‍යා ලබනලද යැ. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය යැ” යි.
මෙසෙයින් ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
භද්‍ර ස්ථවිරගාථා යි.