7. 1. 3.
473. මම බොහෝ ව්‍රතචර්‍ය්‍යාවන්ගෙන් ද ආයාචනාවන්ගෙන් ද ලබනලද මවුහට ප්‍රිය වූ පියාහට ප්‍රිය වූ එක් මැ පුත්‍රයා වීමි.
474. ඒ මවුත් පියාත් දෙදෙනා මට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු අනුකම්පා පිණිස මා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණවූහ.
475. “ස්වාමීනි, මේ පුත්‍ර තෙම දුකසේ ලබනලද්දේ යැ, සියුමැලි යැ, සුවසේ වඩනලද්දේ යැ, මොහු අතැවැසි කොට ජින වූ නුඹ වහන්සේට දෙම්හ”යි.
476. ශාස්තෲන් වහන්සේත් මා පිළිගෙන අනඳ තෙරණුවන්ට තෙල කරුණ වදාළහ: “මොහු වහා පැවිදි කරව, මෙ දරු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වන්නේ යැ” යි.
477. ශාස්තෲන් වහන්සේ මා පැවිදි කරවා විහාරයට වැඩ වදාළහ. හිරු අස්තයට නො යන තෙක් මැ ඒ විදර්‍ශනාරම්භයෙන් නො බෝ වෙලායෙහි මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය.
478. එක්බිති ශාස්තෲන් වහන්සේ සමවන් ඵලසමවත් හැරපියා පිළිසලනින් නැඟීසිටි සේක් ‘ඒව භද්‍රයෙනි’යි මට වදාළහ. ඒ මාගේ උපසම්පදා වී.
479. උපතින් සත්හැවිරිදි වූ මා විසින් උපසම්පත් ලබනලද යැ, ත්‍රිවිද්‍යා ලබනලද යැ. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය යැ” යි.
මෙසෙයින් ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
භද්‍ර ස්ථවිරගාථා යි.
7. 1. 4.
480. ගන්‍ධකුටිච්ඡායායෙහි සක්මන් කරන පුරුෂෝත්තමයන් වහන්සේ දැකැ එහි උන් වහන්සේ කරා එළැඹැ පුරුෂෝත්තමයන් වහන්සේ වැන්දෙමි.
481. සිවුර එකස් කොට පෙරෙවැ දෙ අත් එක් කොට (ඇඳිලිබැඳගෙන) හැම සත්නට උතුම් වූ විගතරජස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කෙළෙමි.
482. ඉක්බිති ප්‍රශ්නයෙහි නිපුණ වූ සර්‍වඥයන් වහන්සේ මාගෙන් කුමාරක ප්‍රශ්නයන් විචාළසේක. මම නො තැතිගත්තෙම් ද නො බිය වූයෙම් ද ශාස්තෲන් වහන්සේට ප්‍රශ්නව්‍යාකරණ (විසඳුන්) කෙළෙමි.
483. පැන විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් වූහ. භික්‍ෂුසඞ්ඝයා බලා මෙ කරුණ වදාළහ:
484. “මේ සෝපාක යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා ගිලන්පස සෙනෙසුන් වළඳා නම් ඒ අඟුමගධ දනවු වැසියනට ලාභයෙකි. දැකැ හුනස්නෙන් නැඟීසිටිනු ද සාමීචිකර්‍ම ද ඔවුනට ලාභයෙකැ’යි වදාළහ.
485. සෝපාකයෙනි, අද පටන් දක්නා පිණිස මා කරා එළඹෙව. සෝපාකයෙනි, තෙල ප්‍රශ්නව්‍යාකරණ මැ තොපගේ උපසම්පදා වේවා”යි.
486. මම උපතින් සත්හැවිරිදි වූයෙම් උපසම්පත් ලැබැගෙන අන්තිම ශරීර ධරමි. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය නියා යැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් සෝපාක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සෝපාක ස්ථවිරගාථා යි.
7. 1. 5.
487. (මම) හීතණ අතින් බිඳගෙන පන්සලක් කොටගෙන වාස කෙළෙමි. එයින් මට ‘සරභඞ්ග’ යයි නමෙක් සම්මුතියෙන් විය.
488. අද මට හීතණ අතින් බිඳිනට නො කැප වෙයි. යසස්වී වූ ගොයුම්ගොතුවන් විසින් අපට සිඛපද පනවනලදි.
489. සරභඞ්ග වූ මම (ශාස්තෲන් වහන්සේගේ අවවාදලාභයට) පෙර සියලු (උපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) රෝගය නිරවශේෂ කොට නුදුටිමි. දේවාතිදේව බුදුන්ගේ වචනය කරන මා විසින් ඒ රෝගය දක්නාලද්දේ යැ.
490. යම් මැ මඟෙකින් විපස්සී බුදුහු වැඩිසේක් නම් යම් මැ මඟෙකින් සිඛී බුදුහු ද වෙස්සභූ බුදුහු ද කකුසඳ බුදුහු ද කෝණාගමන බුදුහු ද කාශ්‍යප බුදුහු ද වැඩි සේක් නම් එමඟින් ගෞතම බුදුහු වැඩිසේක.