6. 1. 8.
417. පසැස් ඇති සූර්ය්යබන්ධු වූ බුදුරදුන් විසින් හැම සංයෝජනයන් ඉක්මගිය හැම (කර්ම, ක්ලේශ, විපාක) වර්තය නසනසුලු (ආර්ය්යමාර්ගය) මොනොවට දෙසනලදි.
418. නෛර්ය්යාණික වූ, (සංසාරමහොඝයෙන්) තරවන, තෘෂ්ණාවගේ මුල් වියළවන ආර්ය්යමාර්ගය දුකට මුල් වූ අඝාතත සඞ්ඛ්යාත කර්මක්ලේශය සිඳ නිවණට පමුණුවයි.
419. අඥානයාගේ මුල් සිඳුනා පිණිස (දෙසනලද) කර්ම (ආත්මභාව) යන්ත්රය නසාලන, (කාමභවාදියෙහි) විඥානයන්ගේ ග්රහණය එළඹසිටි කල්හි මාර්ගඥාන නමැති වජ්රය හෙලන-
420. වේදනාවන් (දුඃඛාදිවශයෙන් ඇති සැටි) හඟවන,(කාමාදි) උපාදානයන්ගෙන් (චිත්තසන්තානය) මුදාලන, භවය අඞ්ගාරකර්ෂුවක් (අඟුරුවළක්) සෙයින් මාර්ගඥානයෙන් දක්වන -
421. (ශාන්තප්රණීත බැවින් හෝ පරිඥාදි කෘත්යභාවයෙන් සාමඤ්ඤඵල සම්පත්තීන් හෝ) මහාරස ඇති ඉතා ගැඹුරු වූ, ජරාමරණ වළහන (සසර) දුක් සන්හිඳුවන ක්ෂේම වූ ආර්ය්ය අෂ්ටාඞ්ගමාර්ග (දෙසනලදි.)
422. ප්රතිත්යසමුත්පන්නධර්මයන් කෙරෙහි කර්මය ‘කර්ම යැ’ යි දැනැ විපාක ද විපාක විසින් දැනැ ඇති සැටියෙන් ඥානාලෝකය දක්වන, (සත්ත්වයන්) මහත් වූ (නිර්වාණ) ක්ෂේමයට පමුණුවන (ක්ලේශ දරථ සන්හිඳුවන හෙයින්) ශාන්ත වූ පර්ය්යවසාන කල්යාණ වූ (ආර්ය්ය අෂ්ටාඞ්ගමාර්ගය දෙසනලදි.)
මෙසෙයින් ආයුෂ්මත් මිගජාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මිගජාල ස්ථවිරගාථා යි.
6. 1. 9.
423. මම ජාතිමදයෙනුදු භෝගසම්පත්තියෙනුදු ඓශ්චර්ය්යසම්පත්තියෙනුදු මත් වූයෙම් පැහැසටහන් රුවිනුදු තදන්ය මදයෙනුදු මත් වැ හැසුරුණෙමි.
424. තමා හා සම වූ හෝ වැඩිසිටි හෝ කිසිවකු නො සිතීමි. බාල වූයෙම් අතිමානයෙන් නටුයෙම් ඉතා තදමන් ඇතියෙම් නඟනලද මානධ්වජ ඇතියෙම්-
425. මව හෝ පියා හෝ ‘ගරු කටයුතු යැ’යි සම්මත වූ අන්ය වූ හෝ කිසිවකු තදමන් ඇතියෙම් ආදර රහිත වූයෙම් අභිවාදන නො කෙළෙමි.
426. (වෛනෙය ජනයන්) විනයන කරන අග්ර වූ පුරුෂදම්යසාරථීන් අතුරෙහි ඉතා උතුම් වූ දිලියෙන හිරු බඳු, මහණගණා විසින් පෙරටු කරනලද ශාස්තෲන් වහන්සේ දැක-
427. මානයත් මදයත් හැරපියා පහන්සිතින් යුතු වැ හැම සත්නට උතුම් වූ ශාස්තෲන් වහන්සේ සිරසින් අභිවාදන කෙළෙමි.
428. (මාගේ) සෙය්යමානය ද හීනමානය ද ප්රහීණ වූහ. මොනොවට උපුරාපියනලදහ. අස්මිමානය මොනොවට සිඳුනාලද යැ. සියලු මානකොට්ඨාසයෝ නසනලදහ’යි.
මෙසේ පුරෝහිතපුත්ර ආයුෂ්මත් ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
ජෙන්ත ස්ථවිරගාථා යි.
6. 1. 10.
429. යම් දවසෙකැ අලුතැ පැවිදි වූයෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් මහත් ඍද්ධි ඇති නාරජහු ඉදුහයෙන් අභිභවන කොට (මැඬලා) -
430. නුතන් දහතළායෙන් උපාධ්යායන් වහන්සේට දිය ගෙන එම් ද එසඳ භාග්යවතුන් වහන්සේ මා දැකැ තෙල කරුණ වදාළහ:
431. ශාරීපුත්රයෙනි, මෙ කුමරහු දියකළය ගෙන සන්හුන් සිතැති වැ එන්නා බලව.