6. 1. 9.
423. මම ජාතිමදයෙනුදු භෝගසම්පත්තියෙනුදු ඓශ්චර්ය්යසම්පත්තියෙනුදු මත් වූයෙම් පැහැසටහන් රුවිනුදු තදන්ය මදයෙනුදු මත් වැ හැසුරුණෙමි.
424. තමා හා සම වූ හෝ වැඩිසිටි හෝ කිසිවකු නො සිතීමි. බාල වූයෙම් අතිමානයෙන් නටුයෙම් ඉතා තදමන් ඇතියෙම් නඟනලද මානධ්වජ ඇතියෙම්-
425. මව හෝ පියා හෝ ‘ගරු කටයුතු යැ’යි සම්මත වූ අන්ය වූ හෝ කිසිවකු තදමන් ඇතියෙම් ආදර රහිත වූයෙම් අභිවාදන නො කෙළෙමි.
426. (වෛනෙය ජනයන්) විනයන කරන අග්ර වූ පුරුෂදම්යසාරථීන් අතුරෙහි ඉතා උතුම් වූ දිලියෙන හිරු බඳු, මහණගණා විසින් පෙරටු කරනලද ශාස්තෲන් වහන්සේ දැක-
427. මානයත් මදයත් හැරපියා පහන්සිතින් යුතු වැ හැම සත්නට උතුම් වූ ශාස්තෲන් වහන්සේ සිරසින් අභිවාදන කෙළෙමි.
428. (මාගේ) සෙය්යමානය ද හීනමානය ද ප්රහීණ වූහ. මොනොවට උපුරාපියනලදහ. අස්මිමානය මොනොවට සිඳුනාලද යැ. සියලු මානකොට්ඨාසයෝ නසනලදහ’යි.
මෙසේ පුරෝහිතපුත්ර ආයුෂ්මත් ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
ජෙන්ත ස්ථවිරගාථා යි.
6. 1. 10.
429. යම් දවසෙකැ අලුතැ පැවිදි වූයෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් මහත් ඍද්ධි ඇති නාරජහු ඉදුහයෙන් අභිභවන කොට (මැඬලා) -
430. නුතන් දහතළායෙන් උපාධ්යායන් වහන්සේට දිය ගෙන එම් ද එසඳ භාග්යවතුන් වහන්සේ මා දැකැ තෙල කරුණ වදාළහ:
431. ශාරීපුත්රයෙනි, මෙ කුමරහු දියකළය ගෙන සන්හුන් සිතැති වැ එන්නා බලව.
432. ප්රසාද එළවන ආචාර වතින් සපන් ඉරියව් ඇති, අනුරුද්ධයන්ගේ හෙරණ තෙම ඍද්ධියෙහි ද විශාරද වෙයි.
433. පුරුෂශ්රේෂ්ඨ වූ (ආත්මහිත පරහිත සාධනයෙන්) සාධු වූ, කළ (සියුමඟ) කිස ඇති අනුරුද්ධයන් විසින් විනයන කරනලද හික්මවනලද (එහෙයින් මැ) පුරුෂශ්රේෂ්ඨ වූ යහපත් කරවනලද-
434. ඒ සුමන සාමණේර පරම ශාන්තියට පැමිණ අර්හත්ඵලය සාක්ෂාත් කොට ‘මා (ක්ෂීණාස්රව යැ’යි අනෙකෙක්) නො දනීව’යි කැමති වේ යයි (බුදුහු වදාළහ’යි.)
මෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සුමන ස්ථවිරගාථා යි.
6. 1. 11.
435. මහණ, දුර්ලභප්රත්යය ඇති රූක්ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසභාවයට පමුණුවනලද්දෙහි කෙසේ වාස කරන්නෙහි ද?
436. මහත් වූ ප්රීතිසුඛයෙන් ශරීරය පතුරුවාගෙන ප්රත්යය රූක්ෂය පවා මැඩලමින් වනයෙහි වාස කරන්නෙමි.
437. සප්තබෝධ්යඞ්ගයන් ද (ශ්රද්ධාදි) පඤ්චේන්ද්රියයන් ද (ශ්රද්ධාදි) පඤ්චබලධර්මයන් ද වඩමින් ධ්යානසූක්ෂමභාව සඞ්ඛ්යාත අරූපධ්යාන සම්පන්න වූයෙම් ආස්රව රහිත වැ වාස කරන්නෙමි.
438. කෙලෙසුන් කෙරෙන් මිදුණු නො කැලඹුණු ශුද්ධචිත්තය එක්වන් ප්රත්යවේක්ෂා කෙරෙමින් ආස්රව රහිත වැ වාස කරන්නෙමි.
439. මාගේ ආධ්යාත්ම වූත් බාහ්ය වූත් යම් ආස්රව කෙනෙක් විද්යමාන වූහු ද එ හැම ශේෂ රහිත වැ සිඳුනාලද්දාහු යළි නූපදනාහ.
440. පඤ්චස්කන්ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු සිඳුනාලද මුල් ඇති වැ සිටිති. දුඃඛක්ෂයට පැමිණියෙමි. මින් මතු පුනර්භවයෙක් නැතැ යි.
මෙසේ ආයුෂ්මත් නහාතකමුනි ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
නහාතකමුනි ස්ථවිරගාථා යි.
6. 1. 12.
441. ක්රෝධ රහිත වූ (රහත් මගින් ඉඳුරන් දමනය කිරීමෙන්) දාන්ත වූ සම වූ දිවිපැවැතුම් ඇති මැනැවින් දතයුතු දහම් දැනැ (ආස්රවයෙන්) විමුක්ත වූ උපශාන්ත වූ (ඉටු අනිටු අරමුණෙහි නො සැලෙන) තාදී ගුණ ඇතියාහට ක්රෝධයෙක් කොයින් ද?
442. යමෙක් තමා කෙරෙහි කිපියහුට පෙරළා කිපේ ද එයින් ඔහට මැ ඉතා අයහපතෙක් වෙයි. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුර්ජය (ක්ලේශ) සඞ්ග්රාම දිනයි.
443. යමෙක් මෙරමා කිපියා දැනැ සිහි ඇති වැ (උපේක්ෂායෙන්) ඉවසා ද හෙතෙම තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට හිතයක් කරයි.
444. යම් කෙනෙක් (ආර්ය්ය ආචාර) ධර්මයෙහි නො නිපුණ වෙත් ද ඒ බාලජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට (ක්රෝධව්යාධි හරනට) පිළියම් කරන ඒ පුද්ගල ‘බාලයෙකැ’යි හඟිති.