4. 1. 9.
299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්‍ය්‍යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.
300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්‍ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.
301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.
302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් චන්‍දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
චන්‍දන ස්ථවිරගාථා යි.
4. 1. 10.
303. සුචරිතධර්‍ම තෙම එකත්නෙන් එදහම් පිළිපදිනුවනු රක්නේ යැ. මොනොවට රැස් කළ එදහම සුව එළවයි. ධර්‍මය මොනොවට රැස් කළ කල්හි තෙල අනුසස් ඇත. ධර්‍මචාරී තෙම දුගතියට නොයන්නේ යැ.
304. ධර්‍මය අධර්‍මය යන දෙදෙන සමවිපාක ඇත්තාහු නො වෙති. අධර්‍මය නිරය කරා පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.
305. එහෙයින් ධර්‍මයෙහි සිටි බුද්ධශ්‍රාවක වූ ධීරයෝ උතුම් සරණ ගියාහු නිවනට ගෙනයනු ලැබෙති. තාදීගුණ ඇති සුගතයන් හේතු කොටගෙන මෙසේ සතුටු වනුයේ ධර්‍මයෙහි ඡන්‍දය කරන්නේ යැ.
306. පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ගණ්ඞයාගේ මූලය නසනලද, තෘෂ්ණාජාලය උපුටනලද. ඒ මම ගෙවනලද සසර ඇත්තෙමි. මට රාගාදි කිඤ්චනයෙක් නැත. (මහිකාදි) දෝෂ රහිත බැවින් පණුරැසි සඳ මෙනි යි.
මෙසෙයින් ආයුෂ්මත් ධම්මික ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ධම්මික ස්ථවිරගාථා යි.
4. 1. 11.
307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්‍ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්‍ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,
310. සර්‍පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්‍භය වූ අජකරණී නදිය භද්‍ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සප්පක ස්ථවිරගාථා යි.