4. 1. 11.
307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්‍ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,
310. සර්‍පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්භය වූ අජකරණී නදිය භද්‍ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සප්පක ස්ථවිරගාථා යි.
4. 1. 12.
311. මම ජීවිකාර්ත්ථී වැ පැවිදි වීම, උපසපුව ලැබ එයින් සැදැහැ ලදිමි, දැඩි වෙර ඇති වැ උත්සාහ කෙළෙමි.
312. එකත්නෙන් මේ කය බිඳී යේවා, මාංශපේශීහු විසිරී යෙත්වා, මාගේ දෙදණ සන්ධියෙන් දෙකෙණ්ඩයෝ ගිලිහෙත්වා.
313. තෘෂ්ණා නමැති හුල නූදුළ කල්හි නො කමි, නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, ඇලය (බිම) නො තබමි.
314. මෙසේ වාසය කරන්නා වූ මාගේ වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පරාක්‍රමය බලව, (මා විසින්,) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැ යි.
මෙසෙයින් ආයුෂ්මත් මුදිත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
මුදිත ස්ථවිරගාථා යි.
උද්දානය:
නාගසමාල යැ , භගු යැ, සභිය යැ, නන්දක යැ, ජම්බුක යැ, සොනක යැ, සම්භූත යැ, රාහුල යැ, යන බුදුසව්වෝ ද ධම්මික යැ, සප්පක යැ, මුදිත යැ යන තෙරවරු ද වෙති. ගාථා දෙපනසක් හා තෙළෙස් තෙර කෙනෙක් ද වෙත්.
චතුක්කනිපාතය නිමි.