3. 1. 5.
231. ක්‍ෂණයෝ ‘මෙකල ඉතා සිහිලැ මෙකල ඉතා උණු යැ මෙකල ඉතා සවසැ’ යි හරනාලද කර්‍මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.
232. යමෙකුත් සිහිල් කලත් උණුකලත් තණපතින් වැඩියක්කොට නො තකා ද, පුරුෂකෘත්‍යයන් කරන්නා වූ හෙතෙම සුවයෙන් නො පිරිහේ.
233. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ කටුපඳුරු (වැලුක්?) සුවඳහොට මුහුතණ බබුස්තණ උරයෙනුදු නෙරැපියන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම්?)
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මාතඞ්ගපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
මාතඞ්ගපුත්ත ස්ථවිරගාථා යි.
3. 1. 6.
234. පැළලුප්නුවරවැසි චිත්‍රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙද්ද, ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් බුජ්ජසොහිත තෙර දොරටුවෙහි සිටී.
235. පැළලුප්නුවරවැසි චිත්‍රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් නම් ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් තෙමේ (ඍද්ධිචිත්තයෙන් උපන්) පවනින් ආයේ දොරටුවෙහි සිටී.
236. (තදඞ්ගවිෂ්කම්භණ විසින්) මනා වූ ක්ලේශයුද්ධයෙන් ද සත්ප්‍රාය වූ ධර්‍මදානයෙන් ද (සමුච්ඡේදප්‍රහාණ විසින්) ලබනලද ක්ලේශසඞ්ග්‍රාමිවිජයයෙන් ද පුහුණු කළ මඟබඹසරින් ද මෙසේ මේ තෙමේ (පලසමවත්) සුවවිඳී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බුජ්ජසෝභිත ස්ථවිරයන් වහන්සේ ...
බුජ්ජසෝභිත ස්ථවිරගාථා යි.
3. 1. 7.
237. මෙලොවැ මිනිසුන් අතුරෙහි යම් කිසිවෙක් පරපණ නසා ද, ඒ මිනිස් තෙම මෙලොවින් ද පරලොවින් ද යන දෙලොවින් මැ පිරිහෙයි.
238. තවද යමෙක් මෙත්සිතින් යුතු වැ සියලු සතුන් කෙරෙහි අනුකම්පා කෙරේ ද, එහෙයින් ඒ එබඳු පුරිස් තෙමේ බොහෝ පින් රැස් කෙරෙහි.
239. සුභාෂිත සඞ්ඛ්‍යාත පර්‍ය්‍යාප්තිධර්‍මය උගන්නේ යැ, (ශමිතපාපී) ශ්‍රමණයන් ඇසුරු කිරීම ද එකලා වැ (කර්‍මස්ථානුයෝග විසින්) එක් මැ නිෂද්‍යා ද, (ක්ලේශප්‍රහාණ විසින්) චිත්තයා ගේ ව්‍යුපශමය ද හික්මෙන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වාරණ ස්ථවිරයන් වහන්සේ ...
වාරණ ස්ථවිරගාථා යි.
3. 1. 8.
240. සැදැහැ ඇති, නුවණ ඇති ලොවුතුරුදහම්හි සිටි සීලසම්පන්න වූ එක් පුද්ගලයා පවා මෙලොවැ සැදැහැ නැති බන්‍ධු සඞ්ඛ්‍යාත ඥාතීන්ට වැඩ පිණිස වෙයි.
241. මා විසින් අනුකම්පායෙන් නිග්‍රහ කොට චුදිත වූ ඥාතීහු ඥාතිබන්‍ධුප්‍රේමයෙන් (අවවාදයෙහි සිට) භික්‍ෂූන් විෂයයෙහි සත්කාර කොට,
242. මාගේ සොහොයුරෝ ද මෑණියෝ ද කලුරිය කළාහු මෙලොව ඉක්මගියාහු දෙව්ලොවැ සුව ලැබ කැමැති සැපත් ඇතියාහු සතුටු වෙත්.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පස්සික ස්ථවිරයන් වහන්සේ ...
පස්සික ස්ථවිරගාථා යි.
3. 1. 9.
243. කළුවැල්පුරුක් බඳු අවයව ඇති කාශ වූ ඉපිළගිය නහර ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ අදීන වූ සිත් ඇති පුරුෂ තෙම,
244. අරනෙහි මහවෙනෙහි මැස්සන් විසින් ද මදුරුවන් විසින් ද උපද්‍රැත වූයේ සඞ්ග්‍රාමභුමියෙහි හස්තිරාජයකු සෙයින් සිහි ඇති වැ ඉවසන්නේ යැ.
245. හුදෙකලා වූයේ බ්‍රහ්මයා බඳු යැ දෙදෙන දෙවියකු බඳු යැ, තිදෙන ගමක් බඳු යැ ඉන් මතු කෝලහලයක් බඳු යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් යසොජ ස්ථවිරයන් වහන්සේ ...
යසොජ ස්ථවිරගාථා යි.