3. 1. 10.
246. පෙර තට (මා කෙරෙහි) ශ්‍රද්ධා විය. එය දැන් තට නැත. යමක් තාගේ නම් තෙල දැය තට මැ වේවා මාගේ දුශ්චරිතයෙක් නැත.
247. යම් හෙයකින් (පෘථග්ජන) ශ්‍රද්ධාව අනිත්‍ය ද එහෙයින් චල වෙයි. මා විසින් ඒ මෙසේ දක්නා ලද යැ, රක්ත ද වෙති විරක්ත ද වෙති, කිම එහි මුනි තෙම පිරිහේ ද?
248. මුනිහුට කුලයක් පාසා බත් ටික ටික පැසෙයි, පිඬු පිණිස හැසිරෙන්නෙමි, මාගේ ජඞ්ඝාබල ඇති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සාටිමත්තිය ස්ථවිරයන් වහන්සේ ...
සාටිමත්තිය ස්ථවිරගාථා යි.
3. 1. 11.
249. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම සම්‍යගාජීව ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නේ යැ.
250. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නුවණැති නවක මහණ තෙම සඞ්ඝයා කෙරෙහි වෙසෙමින් විනය උගන්නේ යැ.
251. සැදැහැයෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම කැප අකැප දැයෙහි නිපුණ වැ තෘෂ්ණාදීන් පුරස්කෘත නො වැ වසන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ...
උපාලි ස්ථවිරගාථා යි.
3. 1. 12.
252. ලොවැ සම්මෝහයට හේතු වූ පස්කම්ගුණයෝ එකත්නෙන් නුවණැති වූ ආත්මාර්‍ත්‍ථචින්තනයෙහි සමර්‍ත්‍ථ වූ මා හෙලාලූහ.
253. කෙලෙස් මරහුගේ ගෝචරයෙහි පිවිසියෙම් දැඩි වූ (රාග) ශල්‍යයෙන් විදුනා ලද්දෙම් මම මාරයාගේ පාශයෙන් මිදෙන්නට හැකි වීමි.
254. මා විසින් සියලු කාමයෝ ප්‍රහීණ කරනලදහ. සියලු භවයෝ නසනලදහ. ජාති සංසාරය ක්‍ෂය කරනලද්දේ යැ. මින් මතු පුනර්‍භවයෙක් නැති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තරපාල ස්ථවිරයන් වහන්සේ ...
උත්තරපාල ස්ථවිරගාථා යි.
3. 1. 13.
255. මෙහි රැස්වූ තාක් නෑ වූ තෙපි සියල්ලෝ (මා ගේ වචනය) අසවු, තොපට මම දහම් දෙසන්නෙමි, පුනපුනා ඉපැද්ම දුකෙකි.
256. වීර්‍ය්‍යය කරවූ, කුසීත බැවින් නික් මෙවු, බුදුසසුන්හි යුක්තප්‍රයුක්ත වවු, නළාගාරයක් (බටගසින් කළ ගෙයක්) වනසන අත්රජකු සෙයින් මරහුගේ සෙනඟ (කෙලෙස්) විධවංසනය කරවු.
257. යමෙක් මේ ධර්‍මවිනයයෙහි අප්‍රමාද වැ වාසය කරන්නේ ද (හෙතෙම) ජාතිසංසාරය හැරදමා දුක් කෙළවර කරන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අභිභූත ස්ථවිරයන් වහන්සේ ...
අභිභූත ස්ථවිරගාථා යි.
3. 1. 14.
258. සසරැ සැරිසරන්නෙම් පුනපුනා නිරයට ගියෙමි, ප්‍රේතලෝකයට ගියෙමි, ඉවසිය නො හෙන්නා වූ තිරිසන් යොන්හි දු මා නොයෙක් අයුරින් බොහෝ කල් විසූවිරූ යැ.
259. (මා විසින්) මිනිසත් බව ද ලබනලද (මම) කාමාචවරදිව්‍යකායට ද වරින් වරැ ගියෙමි, (මා) රූපභවයෙහි අරූපභවයෙහි නෛවසංඥනාසංඥාභවයෙහි අසංඥභවයෙහි සිටිවිරූ යැ.
260. (මා විසින්) අසාර වූ සංඛත (ප්‍රත්‍යයසමවාය විසින් කරන ලද) වූ අස්ථිර වූ හැම කල්හි කම්පිත (භඞ්ගුර) වූ කාමභවාදී සම්භවයෝ මොනොවට දන්නාලදහ. මම අධ්‍යාත්මයෙහි උපන් ඒ සඞ්ඛතයාගේ ස්වභාවය දැනගෙන (මාර්‍ගප්‍රඥාස්මෘතියෙන්) සිහි ඇතියෙම් නිවනට මැ පැමිණියෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ගොතම ස්ථවිරයන් වහන්සේ ...
ගොතම ස්ථවිරගාථා යි.
3. 1. 15.
261. යමෙක් පළමු කටයුතු දැය පසුව කරනු කැමැති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
262. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ, යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ, ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
263. යම් තැනෙකැ සසරදුක් නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දේශිත වූ ශෝක රහිත වූ රාගාදිරජස් රහිත වූ නිරුප්‍රද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් හාරිතස්ථවිරයන් වහන්සේ ...
හාරිත ස්ථවිරගාථා යි.