2. 5. 9.
217. පලාවන් පැහැ ඇති මොනොවට වැඩුණු ඇසතු බෝරුක පිහිටි තැන්හි (සිඛී සම්බුදුනට පැනනැගුණු ඇටඹබොරුක්මුල දී) එළැඹැසිටි සිහි ඇත්තෙම් එක් බුද්ධානුස්මෘති සංඥාවක් ලදිමි.
218. මෙයින් එක්තිස් වන කපෙහි එදා මා විසින් යම් බුද්ධානුස්මෘති සංඥාවක් ලැබුයෙම් ද, ඒ සංඥාව උපනිශ්‍රය කොට ගෙන මා විසින් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිරෝධය ලබනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සන්‍ධිත ස්ථවිරයන් වහන්සේ ...
සන්‍ධිත ස්ථවිරගාථා යි.
පස්වැනි වර්‍ගය යි.
උද්දානය:
කුමාරකස්සප යැ, ධම්මපාල යැ, බ්‍රහ්මාලි යැ, මෝඝරාජ යැ, විසාඛ යැ, චූළක යැ, අනුපම යැ, වජ්ජිත යැ, සන්‍ධිත යැ, යන තෙරවරුන් වදාළගාථා යි.
දුකනිපාතයෙහි ගාථා අට අනූවක් ද, නයෙහි නිපුණ එකුන්පනස් තෙර කෙනෙක් ද කියනලදහ.
දුකනිපාතය නිමි.
3. තික නිපාතය
3. 1. 1.
219. අනුපායයෙන් (නොමගින්) සංසාරශුද්ධිය සොයන්නෙම් වෙනෙහි ගිනි පිදුයෙමි. ශුද්ධියට මාර්‍ගය නො දන්නෙම් (පඤ්චතාපනාදි) අමරතපස් කෙළෙමි.
220. ඒ නිවන් සුවය සුවසේ (සුඛප්‍රතිපදායෙන්) ලබනලදි. ශාසනධර්‍මයා ගේ සුධර්‍මත්‍වය (නෛර්‍ය්‍යාණිකභාවය) බලව. මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද. බුදුරදුන්ගේ අවවාදය කරනලදි.
221. පෙර (ජාතිමාත්‍රයෙන් ප්‍රඥප්ති විසින්) බ්‍රාහ්මණ වෙමි. දැන් (බහිතපාපි වන බැවින් පරමාර්‍ත්‍ථ විසින්) බ්‍රාහ්මණ වෙමි. ත්‍රිවිද්‍යා ඇත්තෙම් වෙමි. (සෝදාහළ කෙලෙස්මල ඇති බැවින්) ස්නාතක ද වෙමි. සොත්‍ථිය ද වෙමි. වේද සඞ්ඛ්‍යාත මාර්‍ගඥානයෙන් සංසාරමහොඝයාගේ නොහොත් චතුස්සත්‍යයාගේ පාරයට ගිය බැවින් වේදගූ ද වෙමි යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා යි.
3. 1. 2.
222. මම පැවිදි වැ පස්දිනක් ඇතියෙමි. නො පත් අග්‍රමාර්‍ග ඇතියෙම් ශෛක්‍ෂ වීමි. විහාරයට (ඔවරකයට) පිවිසි මට චේතෝණිධියක් (ප්‍රාර්‍ත්‍ථනාවක්) වූ යැ:
223. ‘තෘෂ්ණාශල්‍යය නූපුළ කල්හි නො වළඳන්නෙමි, නො බොන්නෙමි, ඔවරකයෙන් නො නික්මෙන්නෙමි, දැළයෙන් එක් ඇළයකුදු නො හොවන්නෙමි’යි.
224. මෙසෙයින් වසන මා ගේ වීර්‍ය්‍යපරාක්‍රමය බලව, (මා විසින්) ත්‍රිවිදාව ලබනලද, බුදුරදුන්ගේ අවවාදය කරනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පච්චය ස්ථවිරයන් වහන්සේ ...
පච්චය ස්ථවිරගාථා යි.
3. 1. 3.
225. යමෙක් පළමු කටයුතු දැය (නො කොට) පසුව කරනු කැමති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
226. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
227. යම් තැනෙකැ සසරදුක නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදීරජස් රහිත වූ නිරුපද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ ...
බක්කුල ස්ථවිරගාථා යි.