2. 2. 9.
157. අයෝනිසෝ මනසිකාරයෙන් ශරීරමණ්ඩනයෙහි යෙදුණෙමි. කාමරාගය විසින් පෙළුණෙම් නො සන්හුන් සිත් ඇත්තෙම් චපල ද වීමි.
158. උපායෙහි දක්‍ෂ වූ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් කරණකොටගෙන නුවණින් පිළිපැද සසරෙහි ගිලුණු සිත නඟාලීමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍ද ස්ථවිරයන් වහන්සේ ...
නන්‍ද ස්ථවිරගාථා යි.
2. 2. 10.
159. ඉදින් තෙමේ සමාධි රහිත වේ නම් එතෙකුදුවත් අන්‍යයෝ ඔහු පසසත් නම්, ඔහු සිස් කොට පසසත්. (තමා සමාහිත නො වන හෙයිනි.)
160. ඉදින් තෙමේ සමාහිත සිත් ඇත්තේ නම්, එතෙකුදුවත් අන්‍යයෝ ඔහු ගරහත් නම්, ඔහු සිස් කොට ගරහත්. (තමා සමාහිත හෙයිනි.)
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සිරිමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සිරිමන්ත ස්ථවිරගාථා යි.
දෙවැනි වර්‍ගය යි.
උද්දානය:
චුන්‍ද ස්ථවිර යැ, ජෝතිදාස ස්ථවිර යැ, හෙරඤ්ඤකානි ස්ථවිර යැ, සොමමිත්ත ස්ථවිර යැ, සබ්බමිත්ත ස්ථවිර යැ, කාල ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, නන්‍ද ස්ථවිර යැ, සිරිමන්ත ස්ථවිර යැ යි දෙවැනි වර්‍ගයෙහි මහත් ඍද්ධි ඇති තෙරවරු දස දෙනෙකි.
තෙවන වර්‍ගය
2. 3. 1.
161. පඤ්චස්කන්‍ධයෝ මා විසින් පිරිසිඳ දන්නා ලදහ. තෘෂ්ණාව මා විසින් මොනොවට උපුරනලද යැ. බෝධ්‍යඞ්ගයෝ මා විසින් වඩන ලදහ. නිර්‍වාණය මා විසින් ලබනලදී.
162. ඒ මම ස්කන්‍ධයන් පිරිසිඳ දැන තෘෂ්ණාව උපුටා දමා බෝධ්‍යඞ්ගයන් වඩා ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නෙමී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ...
උත්තර ස්ථවිරගාථා යි.
2. 3. 2.
163. (යටගිය දවසැ) ‘පානාද’ වූ නම් ප්‍රසිද්ධ රජෙක් වී යැ. යම් රජක්හුගේ ප්‍රසාදය රන්මුවා වූයේ සරස සරපතන සොළසක් ඇත්තේ උස සරපතන දහසක් ඇත්තේ වී ද,
164. සහස්බුමු වූයේ (නඟාලූ) ධ්වජබහුල වූ චාමීකරස්වර්‍ණමය සිය ගණන් නිර්ව්‍යුහ ඇත්තේ ද, එහි සත් තැනෙකැ සදහසක් නළුවෝ නැටූහු ද, ඒ රජ තෙමේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ ...
භද්දජි ස්ථවිරගාථා යි.
2. 3. 3.
165. සිහි ඇති (අභිඥා) නුවණ ඇති පටන්ගන්නාලද බල හා වීර්‍ය්‍ය ඇති මහණකු වූ මම පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
166. සතර සීවටන් ද සප්තබෝධ්‍යඞ්ගයන් ද අෂ්ටමාර්‍ගාඞ්ගයන් ද වඩනුයෙම් පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ ...
සෝභිත ස්ථවිරගාථා යි.
2. 3. 4.
167. දෘඪවීර්‍ය්‍ය ඇතියහු විසින් යමක් කටයුතු නම් සියුසස් දැනගනු රිසියහු විසින් යමක් කටයුතු නම්, (එය) කරන්නෙම්, නො වළහන්නෙමි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සම්‍යග්ව්‍යායාමය බලව.
168. නුඹවහන්සේ වැළිත් මට නිර්‍වාණය පිහිට කොට ඇති ඍජු වූ (ආර්‍ය්‍ය) මාර්‍ගය වදහළ මැනැවැ, මම (නො වළහා) සයුර කරා යන ගඞ්ගාශ්‍රෝතසක් සෙයින් ආර්‍ය්‍යමාර්‍ගයෙන් (නිර්‍වාණය) ප්‍රතිවේධ කරන්නෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
වල්ලිය ස්ථවිරගාථා යි.