දෙවැනි වර්ගය
2. 2. 1.
141. අසනු කැමැත්ත බහුශ්රැතභාවය වඩයි. ශ්රැතය ප්රඥාව වර්ධනය කෙරෙයි. ප්රඥායෙන් අර්ත්ථය දැනගනී. දැනගන්නා ලද අර්ත්ථය තෙමේ සුව එළවයි.
142. වෙනෙහි ඉතා දුරුසෙනසුන් සෙවුනේ යැ. සංයෝජනයන්ගෙන් මිදීම වූ විදර්ශනාමාර්ගභාවනාව කරන්නේ යැ ඉදින් එහි රතිය නො ලබන්නේ නම් සඞ්ඝයා වෙත (කමටහන් පිරිසිඳගැන්මෙන්) රක්නාලද සිත් ඇති වැ සිහි වැ වසන්නේ යි.
මෙසේ ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ ...
මහාචුන්ද ස්ථවිරගාථා යි.
2. 2. 2.
143. යම් කෙනෙක් (වරපට ආදියෙන්) හිස වෙළීමෙන් ද නන්වැදෑරුම් වූ කර්මයන් ද මිනිසුන් පෙළත් නම් දරුණු වූ ප්රයෝග ඇති ඒ ජනයෝ ද ඒ කම්කටොලුවල තුමූ මැ හෙළනු ලැබෙත්. යම් හෙයකින් කර්මය තෙමේ (විපාක නො දී) නො නැසේ ද එහෙයිනි.
144. සත්ත්ව තෙම කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් කර්මයක් කෙරේ ද යම් යම් කර්මයක් රැස් කෙරේ ද, ඒ ඒ කර්මය දායාද කොට ඇත්තේ වේ යයි.
මෙසේ ආයුෂ්මත් ජෝතිදාස ස්ථවිරයන් වහන්සේ ...
ජෝතිදාස ස්ථවිරගාථා යි.
2. 2. 3.
145. රෑදාවල්හු ඉක්මයෙති. ජීවිතින්ද්රිය (කෙණෙහි කෙණෙහි) නිරුද්ධ වෙයි. සත්ත්වයන් ගේ ආයුෂ කුඩා නදීන් ගේ දිය මෙන් ක්ෂය වේ.
146. එතෙකුදුවත් පව්කම් කරන්නා වූ බාල තෙම (එය) නො දනියි. පසු වැ ඔහුට කටුක දුක් වෙයි. යම් හෙයකින් ඒ පාපකර්මයාගේ විපාකය ලාමක වේ ද එහෙයිනි.
මෙසේ ආයුෂ්මත් හෙරඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
හෙරඤ්ඤකානි ස්ථවිරගාථා යි.
2. 2. 4.
147. කුඩා දරකඬෙකැ නැඟැ යම්සේ මහසයුරෙහි ගැලේ ද, එසේ මැ අලසයා නිසා මනා දිවිපැවතුම් ඇත්තේද සසරෙහි ගැලේ.
148. එහෙයින් වීර්ය්ය රහිත වූ ඒ අලසයා දුරැලන්නේ යැ. කායවිවේක ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිවනට යැවූ සිත් ඇති ධ්යාන කරනසුලු වූ නිතොර පටන්ගත් වීර්ය්ය ඇති පණ්ඩිතයන් සමග වසන්නේ යි.
මෙසේ ආයුෂ්මත් සෝමමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
සෝමමිත්ත ස්ථවිරගාථා යි.
2. 2. 5.
149-150. (අන්ධබාල) ජන තෙම (අන්ය) ජනයා කෙරෙහි (තෘෂ්ණායෙන්) බැඳුණේ වෙයි. ජන තෙම ජනයා මැ ඇසුරු කොට සිටියේ යැ. ජන තෙම ජනයා විසින් පෙළනුලැබෙයි. යළි ජන තෙම ජනයා පෙළයි, ඒ ජනක වූ ද ජනිත වූ ද ජනයාගෙන් ඔහුට කවර අර්ත්ථයෙක් ද (මම) ජනයා ද බොහෝදෙනා පෙළාසිටුනා ඒ (තෘෂ්ණා ද්වේෂ දෙක) ද සර්වප්රකාරයෙන් හැරැ යන්නෙමැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සබ්බමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
සබ්බමිත්ත ස්ථවිරගාථා යි.
2. 2. 6.
151. කවුඩකුට බඳු පැහැ ඇති මහත් වූ සිරුරක් ඇති තෙල ‘කාලී’ නම් වූ ස්ත්රී තොමෝ (මළ සිරුරෙහි) දෙ කළවය ද දෙ අත් ද බිඳ දීතලියක් මෙන් හිස ද බිඳ (ඒ අවයව) සුදුසු සේ ගළපා තබා හුන්නී යැ.
152. මූඨ වූ යමෙක් ක්ලේශෝපධිය උපදවා ද, ඒ මූඨ තෙම ඒකාන්තයෙන් පුනපුනා දුකට පැමිණෙයි. එහෙයින් නුවණැත්තේ ක්ලේශෝපධිය නූපදවන්නේ යැ. කුමක් හෙයින යත්: මම යළි බිඳුණුහිස් ඇති වැ නහමක් ශයනය කෙරෙම්වා යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මහාකාල ස්ථවිරයන් වහන්සේ ...
මහාකාල ස්ථවිරගාථා යි.
2. 2. 7.
153. මුඩු වූ සඟළ සිවුර පෙරෙවියා වූ මහණ තෙම ආහාර ද පාන ද වස්ත්ර ද ශයන ද ලබනසුලු වූයේ බොහෝ සතුරන් ලබයි.
154. මහණ තෙම සත්කාර විෂයෙහි මහත් බිය ද තෙල ආදීනවය ද දැන මඳ වූ ලාභ ඇත්තේ තෘෂ්ණා වැගිරීම් නැත්තේ සිහි ඇති වැ හැසිරෙන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
2. 2. 8.
155. පාචීනවංස නම් වූ වනයෙහි, යහළු වූ ශාක්යපුත්රයෝ අනල්ප වූ සම්පත් හැරදමා පිඬුසිඟීමෙන් පාත්රයට ලැබුණු දැයෙහි ඇලුණාහු.
156. ආරබ්ධවීර්ය්ය ඇත්තාහු නිවන කරා යැවූ සිත් ඇත්තාහු සතතයෙන් දෘඪවීර්ය්ය ඇත්තාහු ලෞකික ආලම්බනයෙහි ඇල්ම හැරැ ධර්මරතියෙහි සිත් අලවත් යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
කිම්බිල ස්ථවිරගාථා යි.