2. 2. 5.
149-150. (අන්ධබාල) ජන තෙම (අන්ය) ජනයා කෙරෙහි (තෘෂ්ණායෙන්) බැඳුණේ වෙයි. ජන තෙම ජනයා මැ ඇසුරු කොට සිටියේ යැ. ජන තෙම ජනයා විසින් පෙළනුලැබෙයි. යළි ජන තෙම ජනයා පෙළයි, ඒ ජනක වූ ද ජනිත වූ ද ජනයාගෙන් ඔහුට කවර අර්ත්ථයෙක් ද (මම) ජනයා ද බොහෝදෙනා පෙළාසිටුනා ඒ (තෘෂ්ණා ද්වේෂ දෙක) ද සර්වප්රකාරයෙන් හැරැ යන්නෙමැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සබ්බමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
සබ්බමිත්ත ස්ථවිරගාථා යි.
2. 2. 6.
151. කවුඩකුට බඳු පැහැ ඇති මහත් වූ සිරුරක් ඇති තෙල ‘කාලී’ නම් වූ ස්ත්රී තොමෝ (මළ සිරුරෙහි) දෙ කළවය ද දෙ අත් ද බිඳ දීතලියක් මෙන් හිස ද බිඳ (ඒ අවයව) සුදුසු සේ ගළපා තබා හුන්නී යැ.
152. මූඨ වූ යමෙක් ක්ලේශෝපධිය උපදවා ද, ඒ මූඨ තෙම ඒකාන්තයෙන් පුනපුනා දුකට පැමිණෙයි. එහෙයින් නුවණැත්තේ ක්ලේශෝපධිය නූපදවන්නේ යැ. කුමක් හෙයින යත්: මම යළි බිඳුණුහිස් ඇති වැ නහමක් ශයනය කෙරෙම්වා යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මහාකාල ස්ථවිරයන් වහන්සේ ...
මහාකාල ස්ථවිරගාථා යි.
2. 2. 7.
153. මුඩු වූ සඟළ සිවුර පෙරෙවියා වූ මහණ තෙම ආහාර ද පාන ද වස්ත්ර ද ශයන ද ලබනසුලු වූයේ බොහෝ සතුරන් ලබයි.
154. මහණ තෙම සත්කාර විෂයෙහි මහත් බිය ද තෙල ආදීනවය ද දැන මඳ වූ ලාභ ඇත්තේ තෘෂ්ණා වැගිරීම් නැත්තේ සිහි ඇති වැ හැසිරෙන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
2. 2. 8.
155. පාචීනවංස නම් වූ වනයෙහි, යහළු වූ ශාක්යපුත්රයෝ අනල්ප වූ සම්පත් හැරදමා පිඬුසිඟීමෙන් පාත්රයට ලැබුණු දැයෙහි ඇලුණාහු.
156. ආරබ්ධවීර්ය්ය ඇත්තාහු නිවන කරා යැවූ සිත් ඇත්තාහු සතතයෙන් දෘඪවීර්ය්ය ඇත්තාහු ලෞකික ආලම්බනයෙහි ඇල්ම හැරැ ධර්මරතියෙහි සිත් අලවත් යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
කිම්බිල ස්ථවිරගාථා යි.
2. 2. 9.
157. අයෝනිසෝ මනසිකාරයෙන් ශරීරමණ්ඩනයෙහි යෙදුණෙමි. කාමරාගය විසින් පෙළුණෙම් නො සන්හුන් සිත් ඇත්තෙම් චපල ද වීමි.
158. උපායෙහි දක්ෂ වූ සූර්ය්යබන්ධු වූ බුදුරදුන් කරණකොටගෙන නුවණින් පිළිපැද සසරෙහි ගිලුණු සිත නඟාලීමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ ...
නන්ද ස්ථවිරගාථා යි.
2. 2. 10.
159. ඉදින් තෙමේ සමාධි රහිත වේ නම් එතෙකුදුවත් අන්යයෝ ඔහු පසසත් නම්, ඔහු සිස් කොට පසසත්. (තමා සමාහිත නො වන හෙයිනි.)
160. ඉදින් තෙමේ සමාහිත සිත් ඇත්තේ නම්, එතෙකුදුවත් අන්යයෝ ඔහු ගරහත් නම්, ඔහු සිස් කොට ගරහත්. (තමා සමාහිත හෙයිනි.)
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සිරිමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සිරිමන්ත ස්ථවිරගාථා යි.
දෙවැනි වර්ගය යි.
උද්දානය:
චුන්ද ස්ථවිර යැ, ජෝතිදාස ස්ථවිර යැ, හෙරඤ්ඤකානි ස්ථවිර යැ, සොමමිත්ත ස්ථවිර යැ, සබ්බමිත්ත ස්ථවිර යැ, කාල ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, නන්ද ස්ථවිර යැ, සිරිමන්ත ස්ථවිර යැ යි දෙවැනි වර්ගයෙහි මහත් ඍද්ධි ඇති තෙරවරු දස දෙනෙකි.