2. 1. 10.
139. කුහක තෙමේ පළමු මැ තමා නසන්නේ යැ, හෙතෙම පසුවැලා මෙරමා ද නසන්නේ යැ, ලිහිණිවැදි වීතංසයෙන් (ලිහිණියන් මුළාකරන වැස්මෙන්) ලිහිණින් නසන්නාක් මෙන් තමා සුහත කොට නසන්නේ යැ.
140. බැහැර ඊර්‍ය්‍යාපථසම්පත්ති ඇත්තේ බ්‍රාහ්මණ නො වෙයි. ඇතුළත ශීලාදි සම්පත් ඇත්තේ මැ බ්‍රාහ්මණ වෙයි. ශක්‍රය, යමකු කෙරෙහි පාපකර්‍මයෝ ඇත් ද, හේ ඒකාන්තයෙන් නිහීන පුද්ගලයෙක් වන්නේ ය යි.
මෙසේ ආයුෂ්මත් වසභ ස්ථවිරයන් වහන්සේ ...
වසභ ස්ථවිරගාථා යි.
ප්‍රථම වර්‍ගය යි
උද්දානය:
උත්තර යැ, පිණ්ඩෝල යැ, වල්ලිය යැ, තිරිය යැ, අජින යැ, මෙළජින යැ, රාධ යැ, සුරාධ යැ, ගොතම යැ, වසභ යැ යන රහතුන් වහන්සේලා වදාළ ගාථා යි.
දෙවැනි වර්‍ගය
2. 2. 1.
141. අසනු කැමැත්ත බහුශ්‍රැතභාවය වඩයි. ශ්‍රැතය ප්‍රඥාව වර්ධනය කෙරෙයි. ප්‍රඥායෙන් අර්‍ත්‍ථය දැනගනී. දැනගන්නා ලද අර්‍ත්‍ථය තෙමේ සුව එළවයි.
142. වෙනෙහි ඉතා දුරුසෙනසුන් සෙවුනේ යැ. සංයෝජනයන්ගෙන් මිදීම වූ විදර්‍ශනාමාර්‍ගභාවනාව කරන්නේ යැ ඉදින් එහි රතිය නො ලබන්නේ නම් සඞ්ඝයා වෙත (කමටහන් පිරිසිඳගැන්මෙන්) රක්නාලද සිත් ඇති වැ සිහි වැ වසන්නේ යි.
මෙසේ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ...
මහාචුන්‍ද ස්ථවිරගාථා යි.
2. 2. 2.
143. යම් කෙනෙක් (වරපට ආදියෙන්) හිස වෙළීමෙන් ද නන්වැදෑරුම් වූ කර්‍මයන් ද මිනිසුන් පෙළත් නම් දරුණු වූ ප්‍රයෝග ඇති ඒ ජනයෝ ද ඒ කම්කටොලුවල තුමූ මැ හෙළනු ලැබෙත්. යම් හෙයකින් කර්‍මය තෙමේ (විපාක නො දී) නො නැසේ ද එහෙයිනි.
144. සත්ත්‍ව තෙම කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් කර්‍මයක් කෙරේ ද යම් යම් කර්‍මයක් රැස් කෙරේ ද, ඒ ඒ කර්‍මය දායාද කොට ඇත්තේ වේ යයි.
මෙසේ ආයුෂ්මත් ජෝතිදාස ස්ථවිරයන් වහන්සේ ...
ජෝතිදාස ස්ථවිරගාථා යි.
2. 2. 3.
145. රෑදාවල්හු ඉක්මයෙති. ජීවිතින්‍ද්‍රිය (කෙණෙහි කෙණෙහි) නිරුද්ධ වෙයි. සත්ත්‍වයන් ගේ ආයුෂ කුඩා නදීන් ගේ දිය මෙන් ක්‍ෂය වේ.
146. එතෙකුදුවත් පව්කම් කරන්නා වූ බාල තෙම (එය) නො දනියි. පසු වැ ඔහුට කටුක දුක් වෙයි. යම් හෙයකින් ඒ පාපකර්‍මයාගේ විපාකය ලාමක වේ ද එහෙයිනි.
මෙසේ ආයුෂ්මත් හෙරඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
හෙරඤ්ඤකානි ස්ථවිරගාථා යි.
2. 2. 4.
147. කුඩා දරකඬෙකැ නැඟැ යම්සේ මහසයුරෙහි ගැලේ ද, එසේ මැ අලසයා නිසා මනා දිවිපැවතුම් ඇත්තේද සසරෙහි ගැලේ.
148. එහෙයින් වීර්‍ය්‍ය රහිත වූ ඒ අලසයා දුරැලන්නේ යැ. කායවිවේක ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිතොර පටන්ගත් වීර්‍ය්‍ය ඇති පණ්ඩිතයන් සමග වසන්නේ යි.
මෙසේ ආයුෂ්මත් සෝමමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
සෝමමිත්ත ස්ථවිරගාථා යි.