16. 1. 1.
673. ඒ මම (ඔබගේ) ඉතා රසවත් ධර්‍මය අසා බෙහෙවින් පහදිමි. සර්‍වප්‍රකාරයෙන් උපාදාන රහිත වැ විරාගධර්‍මය දෙසනලද්දේ යැ.
674. ලෝකයෙහි විසිතුරු වූ අරමුණු බොහෝ වෙත්. (ඔහු) මේ මිනිස්ලො වැ රාගයෙන් යුක්ත වූ මිථ්‍යාසංකල්පය අලළතී හඟිමි.
675. මේඝය වායුව විසින් නඟනලද ධූලි යම්සේ සන්හිඳුවා ද එසේ යම් කලෙකැ (ආර්‍ය්‍යශ්‍රාවක තෙම විසිතුරු අරමුණ) විදර්‍ශනා ප්‍රඥායෙන් දකී නම්, එකල්හි සංකල්පයෝ සන්හිඳෙත්.
676. ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි යම්කලෙකැ (ආර්‍ය්‍යශ්‍රාවක තෙම) විදර්‍ශනා ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද (ඥානදර්‍ශන) විසුඬියට මේ මාර්‍ගය වේ.
677. ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි යම් කලෙකැ ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුඬියට මාර්‍ගය යි.
678. ‘සියලු (ත්‍රෛභූමක) ධර්‍මයෝ අනාත්මයහ’යි යම් කලෙකැ ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුද්ධියට මාර්‍ගය යි.
679. යමෙක් බුද්ධානුබුද්ධ වූයේ ද ස්ථිර ගුණ ඇත්තේ ද, කෞණ්ඩින්‍ය නම් වූයේ ද දෘඪවීර්‍ය්‍ය ඇත්තේ ද, ප්‍රහීණ වූ ජාතිමරණ ඇත්තේ ද පිරිපුන් මඟබඹසර ඇත්තේ ද නොහොත් මඟ - ඵල නුවණ ඇත්තේ ද,
680. ඕඝපාශ ඇති ස්ථිර වූ චේතෝඛීල ඇති පැළීමට දුෂ්කර වූ අවිද්‍යා පර්‍වතයක් ඇති හෙතෙම ඛිලයත් පාශයත් සිඳැ බිඳීමට දුෂ්කර වූ පර්‍වතය බිඳැ ඕඝතරණය කෙළේ පරතෙරට (නිවනට) ගියේ ධ්‍යාන කරන සුලු වූයේ මාරබන්‍ධනයෙන් මිදුණේ යි.
681. උඩඟු (නො සන්හුන්) වූ චපල වූ මහණ තෙම පාපමිත්‍රයන් ලැබැ ක්‍රෝධ උපායාස නැමැති රළ විසින් යට කොට ගන්නාලද්දේ (කාමාදි) මහොඝයෙහි ගැලෙයි.
682. උඩඟු නො වූ චපල නො වූ (ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන්හි) නිපුණ වූ සංවරණය කරන ලද ඉඳුරන් ඇති කලණමිතුරන් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.
683. කළුවැල්පුරුක් බඳු අවයව ඇති, කෘශ වූ, ඉපිලගිය නහරවැල් ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ, නො මැලි සිත් ඇති පුරුෂ තෙම-
684. අරණ්‍යයෙහි මහවනයෙහි මැසි මදුරුවන් විසින් විදුනාලද්දේ රණබිම්හි ඇතකු සෙයින් එහි සිහි ඇති වැ ඉවසන්නේ යි.
685. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
686. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
687. මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්‍රිතයහ. බුදුරදුන්ගේ අනුශාසනය කරනලද යැ. ගුරු වූ බර බහාතබනලද යැ. තෘෂ්ණා සඞ්ඛ්‍යාත භවනෙත්තිය නසනලදු.
688. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යැ. මට සද්ධිවිහාරිකයකුගෙන් කවර අර්‍ත්‍ථයක් දැ’යි.
මෙසේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
16. 1. 2.
689. මිනිසුන් අතර උපන්නා වූ (දතයුතු දැය) තමා මැ දත්තා වූ තමා මැ දැමුණා වූ සමාහිත වූ බ්‍රහ්මවිහාර මාර්‍ගයෙහි පවත්නා වූ චිත්තයාගේ ව්‍යුපශමයෙහි (නිවනෙහි) ඇලුණා වූ,
690. මිනිස්සු (ස්කන්‍ධායතනාදි) සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ යමකු නමඳිත් ද දෙවියෝ ද ඔහු නමඳිතී මා විසින් රහතුන් වෙත අසනලදි.
691. ඉක්මගිය සියලු සංයෝජනයන් ඇති, (කෙලෙස්) වනයෙන් නික්ම නිවනට පැමිණි, කාමයෙන් නික්ම නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු, සෙලින් මුත් කසුනක් (රනක්) බඳු (ඔහු දෙවියෝ ද නමඳිත්).
692. ඒ බුද්ධනාග තෙමේ ඒකාන්තයෙන් අන්‍යපර්‍වතයන් ඉක්ම සිටි හිමවත් පර්‍වතය මෙන් අත්‍යන්තයෙන් බැබළී, ‘නාග’ නාමය ඇති සියල්ලන් අතුරෙහි නිරුත්තර වූ සත්‍යනාමය ඇත්තේ යි.
693. තොපට නාග(හස්ති)යා ප්‍රකාශ කරන්නෙමි, හෙතෙම පව් නො මැ කෙරේ. ශීලයත් කරුණාවත් යන එදෙක නාගයාගේ (පූර්‍ව) පාදයෝ යි.
694. ස්මෘතියත් සම්‍යක්ප්‍රඥාවත් නාගයාගේ ඒ අන්‍ය (පසු) පාදයෝ යි. මහානාග තෙමේ ශ්‍රද්ධා නැමැති අත් ඇත්තේ යැ. උපේක්‍ෂා නැමැති සුදුදළ ඇත්තේ යි.
695. ස්මෘතිය ඔහුගේ ග්‍රීවය යැ, ප්‍රඥාව ශීර්‍ෂය යැ, ධර්‍මචින්තාව විමර්‍ශනය යැ, (සමථ - විදර්‍ශනා) ධර්‍මය කුක්‍ෂිය යැ, විවේකය වාලධිය යි.
696. ඒ නාග තෙමේ ධ්‍යාන කරන සුලු යැ, ආස්වාදයෙහි (නිවනෙහි) ඇලුණේ යැ, අධ්‍යාත්මයෙහි මොනවට සමාහිත යැ, නාග තෙම යන්නේ සමාහිත යැ, සිටියේ සමාහිත යි.
697. නාග තෙම හෝනේ සමාහිත යැ, හුන්නේ ද සමාහිත යැ, සියලු අරමුණෙහි සංවෘත යැ, මේ වනාහි නාගයාගේ සමාපත්තිය යි.
698. වස්ත්‍රාහාර ලැබ සන්නිධිකාරය (රැස්කිරීම) දුරු කරනුයේ නිරවද්‍ය දැය වළඳයි. සාවද්‍ය දැය නො වළඳයි.