14. 1. 2.
659. ධුරයෙහි (වියෙහි) යොදනලද රියබර උසුලනු සමත් වූ අතිහාරයෙන් මඩනාලද භද්ර වූ වෘෂභරාජයෙක් යම්සේ තමාගේ වියදඬ නො ඉක්ම සිටී ද,
660. එපරිද්දෙන් යම් කෙනෙක් ජලයෙන් සමුද්රය සෙයින් ප්රඥායෙන් තෘප්ත වූවහු ද ඔහු අන්යයන්ට අවමන් නො කරත්. (මේ) සත්ත්වයන්ගේ ආර්ය්යධර්මයෙක් මැ යි.
661.මිනිස්සු (ලාභාලාභාදි) කාලයෙහි කාලයාගේ වශයට පැමිණියාහු වෘද්ධිහානි වශයට ගියාහු දුකට පැමිණෙත්. ඒ මිනිස්සු මෙලෙව්හි ශෝක කරත්.
662. සුඛ හේතුයෙන් උන්නත වූ, යළි දුඃඛහේතුයෙන් අවනත වූ, ඇති සැටියෙන් නො දක්නාසුලු බාලයෝ දෙකරුණින් පෙළෙත්.
663. තවද යම් කෙනෙක් දුකෙහිත් සැපෙහිත් මධ්යස්ථයෙහිත් තෘෂ්ණාව ඉක්මගියාහු නම් ඔහු ඉන්ද්රඛීලය මෙන් නිශ්චලයහ. ඔහු උන්නතාවනත නො වෙත්.
664. ඔහු ලාභයෙහි, අලාභයෙහි, අයසෙහි, කීර්තියෙහි, නින්දායෙහි, ප්රශංසායෙහි, දුකෙහි හා සුවයෙහි නො ඇලෙත් මැ යි.
665. ඔහු පොකුරුපතැ දියබිඳු මෙන් කිසිතැනෙක නො ඇලෙත්. ප්රාඥයෝ හැම තැන්හි සුඛිතයහ, හැම තැන්හි අපරාජිතයහ.
666. දැහැමින් වන යම් අලාභයෙකුත් වේ නම් අන්නෑයෙන් වන යම් ලාභයෙකුත් වේ නම් (මෙදෙක අතුරින්) ඉදින් අන්නෑයෙන් වන ලාභය යමක් නම් එයට වඩා දැහැමින් වන අලාභය උතුමි.
667. නුවණ නැතියන්ගේ යම් යසසකුත් නුවණැතියන්ගේ යම් අයසකුත් වේ නම් (ඔවුනතුරෙහි) නුවණැතියන් ගේ අයස මැ උතුමි. නුවණ නැතියන්ගේ යසස උතුම් නො වේ.
668. මූඪයන් විසින් කරන යම් ප්රශංසාවකුත් නුවණැතියන් විසින් කරන යම් ගර්හාවකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් බාලයන් විසින් කරන ප්රශංසාව යමක් නම් එයට වඩා නුවණැතියන් විසින් කරන ගර්හාව මැ උතුමි.
669. කාමප්රකෘතික සුඛයෙකුත් පවිවේකයෙන් හටගත් දුඃඛයෙකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් කාමප්රකෘතික සුඛය යමක් නම් එයට වඩා පවිවේකයෙන් හටගත් දුඃඛය උතුමි.
670. අන්නෑයෙන් දිවිරැක්ම ද දැහැමින් මරණය ද යන යමෙක් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් අන්නෑයෙන් දිවිරක්නේ යැ යන යමෙක් ඇත් ද (එයට වඩා) දැහැමින් මරණය ශ්රේෂ්ඨ යි.
671. කාමකෝප ප්රහීණ වූ යම් කෙනෙක් කුදුමහත් භවයෙහි සන්හුන් සිත් ඇති වැ ලෝකයෙහි අනිශ්රිත වැ හැසිරෙත් නම් ඔවුන්ට ප්රියාප්රිය දැයෙක් නැති.
672. බෝධ්යඞ්ගයන් ද ඉන්ද්රියයන් ද බලධර්මයන් ද වඩා පරමශාන්තියට පැමිණ රහත්හු පිරිනිවෙති’යි.
මෙසේ ආයුෂ්මත් ගෝදත්ත ස්ථවිරයන් වහන්සේ ...
ගෝදත්ත ස්ථවිරගාථා යි.
උද්දානය:
තුදුස් වැනි නිපාතයෙහි ‘රේවත’ ද ‘ගෝදත්ත’ දැ යි ඒ මහත් ඍද්ධි ඇති තෙරවරු දෙදෙනෙකි. ගාථා අටවිස්සෙකි.
චුද්දසනිපාතය නිමි.