1. 5. 8.
48. යම් තැනෙකැ පටන්ගෙන මම ගිහිගෙන් (නික්ම) පැවිද්දට පැමිණියෙම් ද, එතැන් සිට දෝෂයෙන් යුක්ත වූ (එහෙයින් මැ) අනාර්ය්ය වූ සංකල්පයක් (ඉපැදැවූවා) නො දනිමි.
මෙසේ ... සඤ්ජය ස්ථවිරයන් වහන්සේ ...
සඤ්ජය ස්ථවිරගාථා යි.
1. 5. 9.
49. වටුවන්ගේ හඬට (හැඬීම නිසා) ද හුනපුපුළුවන් ගේ නොහොත් දඬුලෙහෙනුන් ගේ හඬට (හඬින්) ද මාගේ ඒ සිත නො සැලෙයි. යම් හෙයකින් මා සිත නිවන් අරමුණු කොට පවතී ද එහෙයිනැ යි.
මෙසේ ... රාමණෙය්ය ස්ථවිරයන් වහන්සේ ...
රාමණෙය්ය ස්ථවිරගාථා යි.
1. 5. 10.
50. දෙරණ ද තෙමෙයි, සිහිල් සුළං හමයි, අහසැ විදුලි කොටයි, මාගේ විතර්කයෝ සන්හිඳෙති, (එහෙයින්) මැ සිත ද සමාහිත වී යයි.
මෙසේ ... විමල ස්ථවිරයන් වහන්සේ ...
විමල ස්ථවිරගාථා යි.
පඤ්චම වර්ගය යි.
උද්දානය:
සිරිවඩ්ඪ ස්ථවිර යැ, ඛදිරවනියරේවත ස්ථවිර යැ, සුමඞ්ගල ස්ථවිර යැ, සානු ස්ථවිර යැ, රමණීයවිහාරී ස්ථවිර යැ, සමිද්ධි ස්ථවිර යැ, උජ්ජය ස්ථවිර යැ, සඤ්ජය ස්ථවිර යැ, රාමණෙය්ය ස්ථවිර යැ, විමල ස්ථවිර යැ යි පස් වැනි වර්ගයෙහි තෙරවරු දස දෙනෙකි.
ෂෂ්ඨ වර්ගය
1. 6. 1.
51. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයන ලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. මාගේ සිත ද (නිවන් අරමුණෙහි) මොනොවට එකඟ විය. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... ගෝධික ස්ථවිරයන් වහන්සේ ...
ගෝධික ස්ථවිරගාථා යි.
1. 6. 2.
52. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. (මාගේ සිත ද කාගියාසී අරමුණෙහි ලා) මොනවට එකඟ විය. මේඝය දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... සුබාහු ස්ථවිරයන් වහන්සේ ...
සුබාහු ස්ථවිරගාථා යි.
1. 6. 3.
53. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිබොගසුඛ හා පියූ වාකවුළු ඇත. ඒ කිළියෙහි නො පමා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
වල්ලිය ස්ථවිරගාථා යි.
1. 6. 4.
54. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත, එහි එකලා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
1. 6. 5.
55. අඳුන්වනයට වැදැ දික්හඟලාපුටුව කුටිය කොට ගෙන (වෙසෙමින් මා විසින්) ත්රිවිද්යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... අඤ්ජනවනිය ස්ථවිරයන් වහන්සේ ...
අඤ්ජනවනිය ස්ථවිරගාථා යි.
1. 6. 6.
56. කුටියෙහි කවරෙක් ද? කුටියෙහි වීතරාග වූ මොනවට සන්හුන් සිතැති මහණෙක්මි. ‘තා ගේ කුටිය සඵල කරන ලදැ’යි මෙසේ දනැ යි.
මෙසේ ... කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
කුටිවිහාරිය ස්ථවිරගාථා යි.