1. 2. 8.
18. බුදුන්ගේ (නව ලොවුතුරු දහම්) දායාද ඇති මහණෙක් භේසකලාවනයෙහි වෙයි. (හෙතෙම) මේ සියලු (ආත්මභාව සඞ්ඛ්‍යාත) පෘථිවිය ‘අට්ඨික’ සංඥායෙන් පතුළේ ය, හෙතෙම වහාමැ කාමරාගය ප්‍රහීණ කෙරේ යයි මම හඟිමි.
මෙසේ ... සිගාලපීතෘ ස්ථවිරයන් වහන්සේ ...
සිගාලපීතෘ ස්ථවිරගාථා යි.
1. 2. 9.
19. දියාළුවෝ දිය (රිසි රිසි තැනට) ගෙනයෙති, හීවඩුවෝ හීය (රිසිසේ) නමති, (ඍජු කෙරෙති යි සේ යි). දැව වඩුවෝ දැවය නමති, එසේම ශීලාදී මනා පැවතුම් ඇත්තාහු තමා (සිත) දමනය කෙරෙත්.
මෙසේ ... කුණ්ඩල ස්ථවිරයන් වහන්සේ ...
කුණ්ඩල ස්ථවිරගාථා යි.
1. 2. 10.
20. මට මරණයෙහි බියක් නැත, ජීවිතයෙහි අපේක්‍ෂාවක් නැති, සම්‍යග්ඥාන ඇත්තෙම් එළඹසිටිසිහි ඇත්තෙම් සිය සිරුර බහාතබන්නෙමි.
මෙසේ ... අජිත ස්ථවිරයන් වහන්සේ ...
අජිත ස්ථවිරගාථා යි.
ද්විතීය වර්‍ගය යි.
උද්දානය:
චුළවච්ඡ ස්ථවිර යැ, මහාවච්ඡ ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, සීවක ස්ථවිර යැ, කුණ්ඩධාන ස්ථවිර යැ, බෙල්ලට්ඨිසීස ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, ඉන් මතුයෙහි සිගාල පිතෘ ස්ථවිර යැ, කුණ්ඩල ස්ථවිර යැ, අජිත ස්ථවිර යැ යි දෙවැනි වගැ තෙරවරු දස දෙනෙකි.
තෘතීය වර්‍ගය
1. 3. 1.
21. මම භය (ජාතිජරාමරණාදි) හේතුයෙන් නො බමි, අප ගේ ශාස්තෘහු අමෘතයෙහි නිපුණයහ. යම් නිවනෙකැ බිය නො බැසැගෙන සිටී නම් භික්‍ෂූහු ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් එහි යෙත්.
මෙසේ ... නිග්‍රෝධ ස්ථවිරයන් වහන්සේ ...
නිග්‍රෝධ ස්ථවිරගාථා යි.
1. 3. 2.
22. නිල්වන් මනා ගෙල ඇති සිළු ඇති මොණරු “කාරංචි” වෙනෙහි වෙසෙසින් නදදෙති, ඔහු (මේඝකාලයෙහි) ශීතවාතයෙන් හටගත් “කලි” යන මිහිරි හඬ ඇත්තාහු නිදා සිටියහු ධ්‍යාන කරන්නහු ප්‍රබෝධ කෙරෙත්:
මෙසේ ... චිත්තක ස්ථවිරයන් වහන්සේ ...
චිත්තක ස්ථවිරගාථා යි.
1. 3. 3.
23. මම හුණගොමුයෙහි මිහිමුසු කිරිබත වළඳා (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය මොනොවට පිළිගන්නෙම් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය විදර්‍ශනා කෙරෙමින් විවේකය වඩමින් (පෙර විසූ) සානුවට (පර්‍වතපාර්‍ශවයෙහි සමභූමියට) වටාලා යන්නෙමි.
මෙසේ ... ගෝසාල ස්ථවිරයන් වහන්සේ ...
ගෝසාල ස්ථවිරගාථා යි.
1. 3. 4.
24. පැවිදි එක්වස් ඇතියෙහි, ධර්‍මයාගේ (ස්වාක්ඛාතතාදි) සුධර්‍මත්‍වය බලව, (තොප විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, සම්බුදුන්ගේ අවවාදය කරනලදි.
මෙසේ ... සුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ ...
සුගන්‍ධ ස්ථවිරගාථා යි.
1. 3. 5.
25. යම් මහණක්හුගේ සිත එක්වන් හටගත් ඥානාවභාස ඇත්තේ අග්‍රඵලයට පැමිණියේ වේ ද, මාරය, එබඳු මහණහු ගටා තෝ දුකට පැමිණෙන්නෙහි.
මෙසේ ... නන්‍දිය ස්ථවිරයන් වහන්සේ ...
නන්‍දිය ස්ථවිරගාථා යි.