ද්විතීය වර්‍ගය
1. 2. 1.
11. බුදුරදුන් වදාළ (නවලොවුතුරු) දහම්හි ප්‍රමෝද බහුල වූ මහණ තෙම ශාන්තපද වූ සංස්කාරයන් ගේ ව්‍යුපශම සඞ්ඛ්‍යාත (නිවන්) සුවය විඳිනේ යි.
මෙසේ ... චූළවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
චූළවච්ඡ ස්ථවිරගාථා යි.
1. 2. 2.
12. (පාරිහාරිය විපස්සනා වශයෙන්) ප්‍රඥාබල ඇති (සිව්පිරිසිදු) සීලයෙන් හා (ධූතධම්ම සඞ්ඛ්‍යාත) ව්‍රතයෙන් සමන්‍වාගත වූ එකඟසිත් ඇති ධ්‍යානයෙහි ඇලුණු මනාසිහි ඇති (කායස්ථිති ආදී) අර්‍ත්‍ථයෙන් නො වෙන් වැ අහර වළඳන මේ සසුන්හි රහතන් වහන්සේ (අනුපාදා පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නාහු යි.
මෙසේ ... මහාවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
මහාවච්ඡ ස්ථවිරගාථා යි.
1. 2. 3.
13. නිල්වලා බඳු වූ පැහැපත් සිහිල්දිය ඇති, සුවිශුද්ධභූමිභාග ඇති, රතිඳුගොව්වන් විසින් වැසුණු ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
මෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
වනවච්ඡ ස්ථවිරගාථා යි.
1. 2. 4.
14. “සීවකය, මෙයින් වනයට යම්හ” යි උපාධ්‍යායයන් වහන්සේ මට කීහ, මාගේ කය ගම්හි වෙසෙයි, (එහෙත්) මාගේ සිත අරණ්‍යයට ගියේ යි. හෝනෙම් නමුදු යෙමි. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) දන්නවුන් ගේ (කිසිවක) ඇලීමෙක් නැති.
මෙසේ ... ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ හෙරණුන් දෑ ...
වනවච්ඡත්‍ථේර සාමණෙරගාථා යි.
1. 2. 5.
15. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගිය සංයෝජන) පස දුරැලන්නේ යැ, මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්) පස ද, වඩන්නේ යැ, (රාගාදි) පඤ්ච සඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ (කාමාදිචතුරෝඝයන් තරණය කෙළේ) යයි කියනු ලැබේ.
මෙසේ ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ ...
කුණ්ඩධාන ස්ථවිරගාථා යි.
1. 2. 6.
16. අං ඇති සොඳුරු අජානීය වෘෂභයෙක් නඞ්ගලපථයෙහි (හීවිටෙහි) යම්සේ නිදුකින් යේ ද, එසෙයින් මට දවරෑ නිදුකින් ඉක්මෙයි. (මා විසින්) නිරාමිස (ඵලසමවත්) සුවය ලබන ලද්දේ යි.
මෙසේ ... බෙල්ලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේ ...
බෙල්ලට්ඨිසීස ස්ථවිරගාථා යි.
1. 2. 7.
17. යම් කලෙකැ මඳ නුවණැත්තේ ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ බොහෝ කොට අහර බුදින්නේත් වේ ද, නිදනසුලු වූයේ පෙරැළි පෙරැළී නිදන්නේත් වේ ද හෙතෙම හූරු බතින් පුස්නාලද මහහූරකු සෙයින් පුනපුනා ගැබට වදී. (සසර උපදී යි සේ යි)
මෙසේ ... දාසක ස්ථවිරයන් වහන්සේ ...
දාසක ස්ථවිරගාථා යි.
1. 2. 8.
18. බුදුන්ගේ (නව ලොවුතුරු දහම්) දායාද ඇති මහණෙක් භේසකලාවනයෙහි වෙයි. (හෙතෙම) මේ සියලු (ආත්මභාව සඞ්ඛ්‍යාත) පෘථිවිය ‘අට්ඨික’ සංඥායෙන් පතුළේ ය, හෙතෙම වහාමැ කාමරාගය ප්‍රහීණ කෙරේ යයි මම හඟිමි.
මෙසේ ... සිගාලපීතෘ ස්ථවිරයන් වහන්සේ ...
සිගාලපීතෘ ස්ථවිරගාථා යි.
1. 2. 9.
19. දියාළුවෝ දිය (රිසි රිසි තැනට) ගෙනයෙති, හීවඩුවෝ හීය (රිසිසේ) නමති, (ඍජු කෙරෙති යි සේ යි). දැව වඩුවෝ දැවය නමති, එසේම ශීලාදී මනා පැවතුම් ඇත්තාහු තමා (සිත) දමනය කෙරෙත්.
මෙසේ ... කුණ්ඩල ස්ථවිරයන් වහන්සේ ...
කුණ්ඩල ස්ථවිරගාථා යි.
1. 2. 10.
20. මට මරණයෙහි බියක් නැත, ජීවිතයෙහි අපේක්‍ෂාවක් නැති, සම්‍යග්ඥාන ඇත්තෙම් එළඹසිටිසිහි ඇත්තෙම් සිය සිරුර බහාතබන්නෙමි.
මෙසේ ... අජිත ස්ථවිරයන් වහන්සේ ...
අජිත ස්ථවිරගාථා යි.
ද්විතීය වර්‍ගය යි.
උද්දානය:
චුළවච්ඡ ස්ථවිර යැ, මහාවච්ඡ ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, සීවක ස්ථවිර යැ, කුණ්ඩධාන ස්ථවිර යැ, බෙල්ලට්ඨිසීස ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, ඉන් මතුයෙහි සිගාල පිතෘ ස්ථවිර යැ, කුණ්ඩල ස්ථවිර යැ, අජිත ස්ථවිර යැ යි දෙවැනි වගැ තෙරවරු දස දෙනෙකි.