5. 9.
තෝදෙය්‍ය මාණවක පෘච්ඡා
1093. (තෝදෙය්‍ය මාණවක මෙසේ ඇසීය:) යම් පුඟුලකු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමකුට තෘෂ්ණාවත් විද්‍යමාන නොවේ ද, යම් පුද්ගලයෙක් කථංකථීභාවයත් තරණය කෙළේ ද, ඔහුගේ විමෝක්‍ෂය කෙබඳු වේ දැ?යි.
1094. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: තෝදෙය්‍යයෙනි, ) යම් පුද්ගලයකු කෙරෙහි කාමයෝ නො ලග්නාහු ද, යමකුට තෘෂ්ණාත් නැත් ද, විචිකිත්සා සඞ්ඛ්‍යාත කථංකථීභාවයත් යමෙක් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නො වේ.
1095. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද? හේ ප්‍රඥා ඇතියේ ද? නොහොත් සමාපත්ති ආදිඥනයෙන් තෘෂ්ණා දෘෂ්ටිකල්ප කරණුයේ ද? ශාක්‍යයන් වහන්ස, යම් පරිද්දෙකින් මම් මුනිහු හඳුනාගන්නෙම් නම්, සමතැස් ඇති භාග්‍යවතුන් වහන්ස, එපරිද්දෙන් මට එකරුණ වදාළ මැනව.
1096. එ මුනි තෙම තෘෂ්ණා රහිත ය, හේ ආශා සහිත නො වේ. හේ ප්‍රඥා ඇතියේ ය. (සමාපත්ති ආදි) ඥානයෙන් නොද තෘෂ්ණා - දෘෂ්ටිකල්ප කරන්නේ වෙයි. තෝදෙය්‍යයෙනි, මෙසේ (තෝ) කාමයෙහි දු භවයෙහිදු නො ඇලුනු පළිබෝධ නැතියහු මුනි යයි දනුව යි.
තෝදෙය්‍ය මාණවක පෘච්ඡා නිමි.
5. 10.
කප්පමාණවක පෘච්ඡා
1097. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, (පූර්‍ව - අපර කොටීන් නො පැණෙන හෙයින්) මධ්‍යවූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට ජාත්‍යාදි මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි. යම් පරිද්දෙකින් යලි මෙ දුක නො වන්නේ ද, එපරිද්දෙන් මට ප්‍රතිෂ්ඨාව ද වදාළ මැනැවි.
1098. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: කප්පමාණවයෙනි,) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි කප්පය, තොපට ප්‍රතිෂ්ඨාව දෙසමි.
1099. ප්‍රතිභාග වූ අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව රාගාදි කිඤ්චන රහිතය. තෘෂ්ණාදාන රහිත ය. ජරාමරණව්‍යපශමය වූ එය නිර්‍වාණ යයි කියමි.
1100. ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දක්නාලද ධර්‍ම ඇති යම් රහත්හු තෙල නිර්‍වාණය දැන ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙති යි.
කප්පමාණවක පෘච්ඡා නිමි